තරු බිලියන දහස් ගණනක් පීරා පෘථිවියෙන් එපිට නවාතැනක් සොයමුද?

0
708

සමස්ත විශ්වය අනන්ත වන අතර එහි ආරම්භය විකාශනය හා පැවැත්ම පුදුමාකාර දෙයක් ලෙස තවමත් අපි දකිමු.  විශ්වය වනාහී විස්මයජනක ලෙස අප දුටුවද එය විද්‍යාව හා තාක්ෂණය අනුව සාපේක්ෂ බව අප වටහාගත යුතුව ඇත. වායුමය යෝධ ග්‍රහලෝක සතරකින් සහ පාෂාණමය ලෝක තුනකින්ද වාමන ලෝකයන් දෙකකින්ද සපිරි අප සෞරග්‍රහ මණ්ඩලයේ පැවැත්ම මධ්‍ය ප්‍රමාණයේ තාරකාවක් වන සූර්යයා මත රැඳී පවතී. එවන් සූර්යයන් බිලියන ගණනාවක් රඳවා සිටින අප ක්ෂීරපථ මන්දාකිණියත් එවැනි මන්දාකිණි බිලියන, ටි්‍රලියන ගණනින් සපිරි විශ්වය පරක් තෙරක් නොමැති  අබිරහසක් බව පමණක් අපි දනිමු.  මේ සා විශ්වයේ කුඩා වැලි කැටයක් වන් අප පෘථිවිය අන් හැමටම වඩා සුවිශේෂී බව පිළිගත යුත්තේ එකම කරුණක් උදෙසාය.

එනම් දැනට ජීවය ගැන ස්ථිර සාක්ෂි සපයනා එකම ග්‍රහයා පෘථිවිය වීමයි.   ජීවයට සුදුසු වන ග්‍රහලෝක අප චක්‍රාවාටයේ  තාරකා බිලියන අතරේ ඕනෑ තරම් තිබිය හැකි වුවද ආලෝකයේ වේගයට ආසන්න වීමටත් නොහැකි අප විශ්ව ගමන් තාක්ෂණයට ඒවා සොයා යෑම තවමත් සිහිනයකි. එබැවින් විද්‍යාඥයන් පළමුව වෙහෙසෙන්නේ පෘථිවිය පිහිටන සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳවයි. සැබවින්ම පෘථිවියට බාහිර අභ්‍යවකාශය තුළ ජීවය පැවැතිය හැකිද? නොහැකිද? යන්න වැදගත් පැනයකි. එය විමසීමට පෙර ජීවය යන්න පිළිබඳ යම් අවබෝධයක් අප ලබාගත යුතු වේ.

පෘථිවියේ වයස ගත් කල පෘථිවිය මත පවතින ජීවයට එතරම් වයස නැති බව ජීවයේ ඉතිහාසය සෙවීමේදී අප හට පසක් වනු ඇත. නමුත් අද අප කතා කිරීමට උත්සුක වන්නේ තවමත් ලොව පුරා විද්‍යාඥයන් ඉමහත් උනන්දු වන පෘථිවියෙන් බාහිර ජීවය පිළිබඳවයි. පෘථිවියට බාහිර අවකාශය තුළ ඇති තාරකා, ග්‍රහලෝක, උප ග්‍රහයන්,  උල්කා, ග්‍රහක, වලාකුළු අතරේ  ජීවය වෙනුවෙන් යම් ආකාරයක ඉඩක් පැවැතිය හැකිද යන්න ඔබට මෙම ලිපිය අවසානයේ තීරණය කිරීමට හැකිවනු ඇත.

‘තම වර්ගයාගේ අඛණ්‍ඩ පැවැත්ම උදෙසා ජෛව ක්‍රියාවලීන් සිදුකර‍‍න වස්තූන් එසේ නොවන වස්තූන්ගෙන් වෙනස්වන ලක්‍ෂණය ජීවය නම් වේ’ ජීවවිද්‍යාවට අනුව ජීවයේ සරලම කියවීම මෙය වන අතර ජීවය පිළිබඳ ප්‍රමුඛ නිර්ණායකයද මෙයයි. ජීවය යනු විකාශන ක්‍රියාවලියකි. එය තම පැවැත්ම අඛණ්ඩව පවත්වාගෙන යෑම උදෙසා නිතරම අනුවර්තනය වෙමින් පැතිරීම සිදුකරයි.  විශ්වය තුළ මෙම නිර්ණායකයන්ට යටත්ව පැවැතිය හැකි ජීව ස්ථාන සොයා බැලීමට ප්‍රථම අප පෘථිවිය මත දැනට වන ජීවය පිළිබඳ දැනුවත් වීම අතිශය වැදගත්ය.

පෘථිවිය තුළ ජීවයේ ඇති වීම පිළිබඳ ප්‍රධාන විද්‍යාත්මක මතයක් වන්නේ පෘථිවි කබල අභ්‍යන්තරයේ කුහරයකින් හටගත් උණුසුම් ජලයෙන් සහ සාගරය විසුරුවා හරින ලද රසායනික ව්‍යුහයන් සහිත ද්‍රාවණයකින් (primordial soup) ජීවයේ ආරම්භය ඇරඹුණු බවයි. එමෙන්ම එතරම් ජනප්‍රිය නොවූ ‘Panspermia’ කල්පිතයට අනුව ජීවයේ ආරම්භය විශ්වයේ අෑත තැනක සිදුව ඇත. මෙම න්‍යායේ විශේෂිත සංස්කරණය ලෙස, ශ්‍රී ලංකාවේ උපත ලද තාරකා විද්‍යාඥයකු හා ගණිතඥයකු වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සමඟ බි්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයකු වන ශ්‍රීමත් ෆ්‍රෙඩ් හොයිල් විසින් 1980දී ඉදිරිපත් කරන ලද “Cometary panspermia” සිද්ධාන්තය හඳුන්වා දිය හැකිය. මෙම සිද්ධාන්තයේ විශේෂත්වය වන්නේ ජීව විද්‍යාවේ ජීවයට අදාළ කියවීමට මෙය අදාළ වීමයි.  එනම්  ජීවය විශ්වය තුළද තම පැවැත්ම රඳවා ගැනීමටත් විකාශය කිරීමටත් උත්සුකය.

ක්‍රි.පූ 5 වැනි සියවසේ ජීවත් වූ ග්‍රීක දාර්ශනිකයකු වන “ඇනෙක්සගොරස්” ගේ අදහස් මෙම වාදයට පදනම් වන අතරම ඔහුට අනුව ජීවයේ බීජ විශ්වය පුරාම විසිරී පැතිරෙන අතර ඒවා අභ්‍යවකාශය හරහා ග්‍රහ වස්තු අතර නිරන්තරයෙන් ගමන් කරනු ලබයි. ඒ අනුව ග්‍රහක, උල්කාශ්ම හා ධූමකේතු ආධාරයෙන් ජීවය විශ්වයේ එක් ස්ථානයක සිට ඊට පරිබාහිර ජීවයට හිතකර වෙනත් ග්‍රහලෝක දක්වා ගමන් කරන බවත් ඔහුගේ මතවාදයේ පැහැදිලි වේ. සැබවින්ම මෙය සැලකිය යුතු මතවාදයකි.  මන්ද මේ සඳහා යම් යම් ඉඟි අභ්‍යවකාශය තුළින් විද්‍යාඥයන් සොයාගෙන ඇත. 

බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය

අභ්‍යවකාශයේ ජීවීන්ට නොනැසී ජීවත් වීමට ඇති හැකියාව පිළිබඳ එක්සත් ජනපදයෙන්, සෝවියට් සංගමයෙන් මෙන්ම වෙනත් රටවල් කිහිපයකින්ම පර්යේෂණ රාශියක් සිදුකර තිබූ අතර ඒ අනුව අභ්‍යවකාශයේ නොනැසී පැවැතිය හැකි දිලීර වර්ග, බැක්ටීරියා වර්ග, බැක්ටීරියා බීජානු සහ ලයිකන වර්ග ගණනාවක් හඳුනා ගෙන තිබෙනවා. එමෙන්ම ටාගිග්‍රේඩ් යනුවෙන් හැඳින්වෙන සත්ත්ව විශේෂයටද අභ්‍යවකාශ තත්ත්ව යටතේ තම ජීවය පවත්වාගෙන යෑමට හැකියාව පවතින බවට සොයාගෙන තිබෙනවා. ඒ අනුව ග්‍රාහක, ධූමකේතු සහ උල්කාශ්ම ඇසුරු කරගෙන ජීවය පවත්වාගෙන යෑමට හා විශ්වය පුරා සංචරණය කිරීමට ඇතැම් ජීවීන්ට හැකියාව පවතින බව යන මතය බැහැර කිරීමට නොහැකි වනවා. අභ්‍යාවකාශය තුළ නිරන්තරයෙන් සංචාරය වන උල්කා සහ ග්‍රහක කොටස්ද වල්ගා තරු මෙන්ම දූවිලිද ජීවයේ ව්‍යාප්තිය වෙනුවෙන් උපකාරී විය හැකි බව පිළිගත් මතයකි.

යම් ග්‍රහයකු තුළ ඇති සාගරයක හෝ අයිස් වැස්මක  වන, ජීව අනු  මෙසේ අභ්‍යාවකාශ කොටස් හරහා වඩාත් සුදුසු පරිසරයකට සංක්‍රමණය වීම සිදුවිය හැකිය. සාමාන්‍ය ජීවීන්ට අහිතකර වන උෂ්ණත්වය, පීඩනය රසායනික තත්ත්ව හමුවේ වුවද ජීවත් විය හැකි ක්ෂුද්‍ර ජීවී ආකාර රාශියක් පෘථිවි අභ්‍යන්තරයේ, ගිනිකඳු, උණුදිය උල්පත් ආදිය ආශ්‍රිතව හමුවී ඇත. එමඟින් අනුමාන කළ හැකි ප්‍රධාන කාරණය නම් සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම් ග්‍රහලෝක මත හෝ ඇතැම් යහමල් ක්‍රියාත්මක වන උණුසුම් පරිසරයක වුවද එවැනි ජීවයක් තිබිය හැකි බවයි. කිසියම් දිනෙක අප සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වූ සූර්යයා මත එහි උණුසුමට හැඩගැහෙනා ජීව විශේෂයක් පැවැතීමට ඉඩ නැතැයි කාට නම් කිව හැකිවේද?

එබඳු විශ්ව ජීවයක් ගැන තොරතුරු අපට දැනට ලැබී තිබේද?

ඇලන් හිල්ස් උල්කාශ්මය

ඉහත සඳහන් කළ ආකාරයේ ජීවයක් ගැන පෘථිවි විද්‍යාඥයන් හට පැවැසූ ප්‍රධාන සාක්ෂිය වන්නේ අභ්‍යවකාශයේ සිට 1984 වසරේ දෙසැම්බර් මස 27 වැනිදා ඇන්ටාක්ටිකාවේ ඇලන් හිල්ස් ප්‍රදේශයට කඩා වැටී තිබූ මෙම උල්කාශ්මයයි. සාමාන්‍යයෙන් උල්කාශ්මයක්‌ පොළොව තුළට වැටීමෙන් පසු කාලයක් ගතවත්ම පොළොවේ පස නිසාවෙන්  එහි මුල් තත්ත්වය වෙනස් විය හැකිය. එය පරීක්ෂණ කටයුතු සඳහා වන ප්‍රමුඛ බාධකයකි. නමුත් අවුරුද්ද මුළුල්ලේ ගන අයිස් වැස්මෙන් ගහන වූ ඇන්ටාක්ටිකා ප්‍රදේශයට වැටී තිබූ මෙම උල්කාශ්මය නිරුපද්‍රිතව තිබී සුවිශේෂී කරුණු රැසක් වාර්තා කර තිබිණි.  ඇලන් හිල්ස් ප්‍රදේශයේ ගවේෂණයක නිරත වූ භූ විද්‍යාඥයන් පිරිසකට උල්කාශ්මයක් හමුවී තිබූ අතර එය තරමක විශාලත්වයෙන් යුතු පාෂාණමය වස්තුවක් වී තිබිණි. එහි සාම්පල අංකය වූයේ 1539යි. එමෙන්ම එතෙක් ලොව සොයා ගෙන තිබූ අසාමාන්‍යතම උල්කාශ්මය බවට එය පත්වනු ඇතැයි එදා කිසිවකු නොසිතන්නට ඇති.

පසුව සිදුකරන ලද පරීක්ෂණ අනුව මෙම උල්කාශ්මය අඟහරු ග්‍රහයාගේ පාෂාණ කොටසක් බවට තහවුරු වූ අතර වඩාත් විස්මයජනක සොයා ගැනීම වූයේ එය අධි විභේදන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හරහා නිරීක්ෂණ කළ විටයි. එහිදී දකින්නට ලැබුණේ පෘථිවි ක්ෂුද්‍ර ජීවීන්ට සමාන පෙනුමකින් යුක්ත වූ ක්ෂුද්‍ර පොසිල සමූහයක් එම පාෂාණ කොටස තුළ සිටිනා බවත් එම ක්ෂුද්‍ර කොටස් පෘථිවි පාරිසරික තත්ත්වය යටතේ සජීවී වන බවත්ය. අජීවී රසායනික ප්‍රතික්‍රියා මඟින්ද මෙබඳු ලක්ෂණ උල්කාශ්ම මත ඇතිවිය හැකි බව ඇතැම් විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණද අජීව පරිසර තත්ත්ව යටතේ මෙබඳු ක්ෂුද්‍ර ජීව විශේෂ තාවකාලික නිද්‍රාවක හෝ අක්‍රිය වීමක පැවැතිය හැකි බව බොහෝ විද්‍යාඥයන්ගේ මතය වනවා. කෙසේ වෙතත් අඟහරුගේ භූමිය තුළ හෝ සාගර කලාපවල ක්ෂුද්‍ර ජීව පැවැතීමේ අවස්ථාව ඇති බවට ඔවුන් තුළ බලාපොරොත්තු ඇති කර තිබෙනවා.

අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක මත ජීවය පැවැතීමට අවස්ථාවක් තිබේද?

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ දැනට සොයාගෙන ඇති එකම ජනාවාස සහිත  ග්‍රහලෝකය පෘථිවියයි. පෘථිවිය හැර අනෙකුත් සියලුම ග්‍රහලෝකවල පෘථිවි ජීවීන් සඳහා හුස්ම ගත හැකි වායුගෝලයක් නොමැති අතර ඒවායින් බොහොමයක් ජීවය පවත්වා ගැනීමට නොහැකි තරම් උණුසුම් හෝ සීතල වේ. තරුවක් වටා පරිභ්‍රමණය වන සෑම ග්‍රහලෝක පද්ධතියක් තුළම පවතින ජීවය බිහි විය හැකි පරිසර පද්ධතියක් නිර්මාණය වීම අත්‍යවශ්‍ය කාරණයකි. සූර්යයාට ඉතා ආසන්නව ඇති ග්‍රහලෝක මත  ඉතා උණුසුම් රළු  පරිසර තත්ත්වයක් හා විස සහිත වායූන්  බොහෝ විට නිර්මාණය වන අතර  අහිතකර සූර්ය කිරණද ඒ මත ජීවයට නුසුදුසු වනු ඇත.

ඒ සමඟම, අපගේ සූර්යයාට සාපේක්ෂව පිහිටීම හැර වෙනත් බලවේග ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වයට බලපෑම් කළ හැකිය. නිදසුනක් වශයෙන්  සමහර ග්‍රහලෝක උදම් අගුළු දමා ඇත. එයින් අදහස් කරන්නේ ඒවායේ එක් පැත්තක් නිරන්තරයෙන් සූර්යයා දෙසට මුහුණලා ඇති බවයි.  එමෙන්ම ඒවා  අභ්‍යන්තර භූ විද්‍යාත්මක බලවේග මඟින් උණුසුම් වන අතර සූර්ය කිරණවලට නිරාවරණය වීම මත රඳා නොපවතින යම් උණුසුමක් ලබාගනී. 

එසේම  සූර්යයාට ඉතාමත් දුරින්  පිහිටනා ග්‍රහලෝක තුළ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් වන අතර වායූන් පවා මිදුණු තත්ත්වයක් පවතින  දරුණු සීතල හා තද පෘෂ්ඨයක් රහිත වායුමය තත්ත්වයද ජීවය පැවැතීමට මහත් බාධාවක් ලෙස එහි දැක්වේ.  එමෙන්ම බ්‍රහස්පති සහ සෙනසුරු වායු යෝධයන්ගේ අනතුරුදායක වායුගෝලයද ඒ මත ජීවයේ බලාපොරොත්තුවලට විරුද්ධව නැඟී සිටිනු ඇත. කෙසේ නමුත් විශ්වයේ ජීවය පිළිබඳ සෙවීමේදී අප සෞරග්‍රහ මණ්ඩලය තුළ ජීවයට සුදුසු, නුසුදුසු ස්ථාන පිළිබඳ යම් දැනුවත් භාවයක් ලැබීම අත්‍යවශ්‍ය කරුණකි.

බුධ

අපගේ ග්‍රහලෝක අටෙන්, බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නම ග්‍රහයා වේ.  එබැවින්, අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ උණුසුම්ම උෂ්ණත්වය අත්විඳිය හැකි ග්‍රහලොව එයයි.  බුධ ග්‍රහයා තුළ  වායුගෝලයක් නොමැති බැවින් එහි දහවල තුළ ලෝහ දියකර හරිනා උෂ්ණත්වයක් පවතින අතර  සහ අනෙකුත් ග්‍රහලෝක හා සසඳන විට එය ඉතා සෙමින් භ්‍රමණය වන්නකි. එබැවින් එහි දහවල තුළට දරුණු උණුසුමක් සෘජුවම පතිත වනු ඇත. සූර්යයාට නිරාවරණය වන පෙදෙස යම් දිගු කාලයක් නිරාවරණය වන අතර, මතුපිට උෂ්ණත්වය  465 °C දක්වා ළඟාවීමට ඉඩ සලසයි. මේ අතර, අඳුරු පැත්තේ, උෂ්ණත්වය ශීත – 184 °C දක්වා පහත වැටිය හැකිය.  එබැවින් බුධ ග්‍රහයා පෘථිවිය තුළ පවතින ස්භාවයේ ජීවයකට කිසිසේත්ම සුදුසු නොවනා බව ඔබට වැටහිය යුතුය.

සිකුරු

බුධ ග්‍රහයා හිරුට ආසන්නයේම සිටියද උණුසුම්ම ග්‍රහයා එය නොවනා අතර එම තැන සිකුරුට හිමිවේ. සිකුරු ග්‍රහයා මතුපිට උෂ්ණත්වය නිරන්තරයෙන් සෙල්සියස් අංශක 460 ඉක්මවා යන අතර එහි වූ යහමල් නිරන්තරයෙන් සක්‍රිය තත්ත්වයේ පවතී. මෙයට හේතුව වන්නේ සිකුරු සූර්යයාට සමීප වීම, මෙන්ම කාබන්ඩයොක්සයිඩ් සහ සල්ෆර්ඩයොක්සයිඩ් අධික වලාකුළුවලින් සමන්විත ගන වායුගෝලයක් සිකුරු අහසේ පිහිටා තිබීමය.

මෙම වායූන් ප්‍රබල හරිතාගාර ආචරණයක් නිර්මාණය කරන අතර එමඟින් සූර්යයාගේ තාපයෙන් සැලකිය යුතු කොටසක් වායුගෝලයේ රඳවාගෙන ග්‍රහලෝක මතුපිට නිසරු, උණු කළ භූ දර්ශනයක් බවට පත් කරයි.  පෘෂ්ඨය පුළුල් ගිනි ක¾දු සහ ලාවා ගලා යෑමෙන්ද සලකුණු කර ඇති අතර සල්ෆියුරික් අම්ලයේ වලාකුළු මඟින් වැසි ඇදහැලෙයි. නමුත් පෘථිවි දින 224කට පසු රාත්‍රිය උදා වීමේදී (සිකුරුගේ භ්‍රමණය පෘථිවි දින 224කි.) මෙහි ඇති වන වන සීත බව අතරේ ජීවය පැවැතීමට බලාපොරොත්තු තැබිය හැකි බව විද්‍යාඥයන් බලාපොරොත්තු තබා සිටී.

අඟහරු

අඟහරු ග්‍රහයාගේ සාමාන්‍ය මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක – 55 පමණ වේ. එමෙන්ම එහි වන ගැටලුව වන්නේ එහි තුනී වායුගෝලය  තාපය රඳවා ගැනීමට ප්‍රමාණවත් නොවීමයි.  එමෙන්ම සූර්යාලෝකය සමඟ පැමිණෙන නොයෙකුත් විනාශකාරී විකිරණයන් සෘජු ලෙසම භූමිය මත පතිත වීමද පෘථිවි ජීවයට බාධා පැමිණිය හැකිය.

බ්‍රහස්පති

බ්‍රහස්පති ග්‍රහයා වායු යෝධයකු බැවින් එයට ගන පෘෂ්ඨයක් නොමැත. එමෙන්ම එහි මතුපිට උෂ්ණත්වයක්ද නොමැත. නමුත් බ්‍රහස්පති ග්‍රහයාගේ වලාකුළු පද්ධතියට ඉහළ සිට ගන්නා ලද මිනුම්වලින් පෙන්නුම් කරන්නේ ආසන්න වශයෙන් එහි  – 145ක සෘණ උෂ්ණත්වයක් ඇති බවයි. නමුත් මධ්‍යයට ආසන්නව වායුගෝලීය පීඩනය හා එහි වායූන් තුළ නිපදවන විකිරණ  හේතුවෙන් ග්‍රහලෝකයේ උෂ්ණත්වය වැඩිවේ.  සැබවින්ම බ්‍රහස්පතිගේ සැබෑ අනතුර පිහිටන්නේ එහි පවතින මෙම වායුගෝලීය පීඩනයයි. විශාල ග්‍රහයකු වුවත් එය පැය දහයක වැනි කාලයකදී තම අක්ෂය වටා භ්‍රමණය සිදු කරනා නිසාම ඒ මත නිරන්තරයෙන් දරුණු කුණාටු තත්ත්වයක් පවතී. පැයට කිලෝමීටර් දස දහස ඉක්මවා හමා යන සුළඟේ වේගය එහි ජීව තත්ත්වයකට ඇති ඉඩ අවහිර කරනු ඇත.

සෙනසුරු

සූර්යයාගේ සිට ඇති අධික දුර නිසාවෙන් සෙනසුරු තරමක් සීතල වායු යෝධයකු වන අතර සාමාන්‍ය උෂ්ණත්වය  සෙල්සියස් අංශක  – 178ක් වේ.  නමුත් සෙනසුරු ග්‍රහයාගේ  නැඹුරුව නිසා, දකුණු හා උතුරු අර්ධගෝල වෙනස් ලෙස රත්වන අතර සෘතුමය වෙනස් වීම උෂ්ණත්වය කෙරෙහි බලපායි.

තවද බ්‍රහස්පති මෙන්, සෙනසුරුගේ ඉහළ වායුගෝලයේ උෂ්ණත්වය ශීතල වන නමුත් ග්‍රහලෝකයේ මධ්‍යයට සමීපව එය වැඩිවනු ඇත. ග්‍රහලෝකයේ හරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11,700 දක්වා ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරෙනා අතර බ්‍රහස්පති මෙන්ම මෙහි වායුගෝලයද ඉතාම අනතුරුදායක වන්නේ නිරන්තරයෙන් එහි හට ගන්නා විද්‍යුත් කුණාටු නිසාවෙනි. මෙගාවොට් ලක්ෂය ඉක්මවනා විදුලි කුණාටු එහි වායුගෝලය තුළ නිරන්තරයෙන් හමා යෑම නිරතුරුව සිදුවන්නකි.

යුරේනස්

යුරේනස් යනු අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ශීතලම ග්‍රහලෝකය වන අතර අඩුම වාර්තාගත උෂ්ණත්වය – 224ක් වේ.  අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙකුත් වායු යෝධයන් මෙන්, යුරේනස්ගේ හරය සූර්යයාගෙන් අවශෝෂණය කර ගන්නා තාපයට වඩා බොහෝ වැඩි තාපයක් නිකුත් කරයි.

නෙප්චූන්

නෙප්චූන්ගේ ඉහළ වායුගෝලයේ උෂ්ණත්වය – 218 °C දක්වා පහත වැටීමත් සමඟ මෙම ග්‍රහලෝකය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ශීතලම ග්‍රහ ලෝකය වනු ඇත. තවද සියලුම වායු යෝධයන් මෙන්, නෙප්චූන් අභ්‍යන්තරය තුළද  7,000 °C පමණ වන වඩා උණුසුම් හරයක් ඇත.

ප්ලූටෝ

වාමන ග්‍රහයකු ලෙස ප්‍රචලිත ප්ලූටෝ මත පැහැදිලිව කිවහැකි විනාශකාරී පරිසරයක් නොවූවද ජීවයට හිතකර තත්ත්වයක් එහි ඇති බවට අනුමාන කළ නොහැකි වන්නේ එහි වන දරුණු සීත බව නිසාවෙනි. සඳ එළියටත් අඩු සූර්යාලෝකයක් ලබන එහි භූමිය හා සාගර ශීතලෙන් මිදී පවතී.  නමුත් මේ ගන අයිස් තට්ටු යට දිය පිරුණු සාගර පිහිටීමට ඉඩ ඇති බවත් ඒ තුළ යම් ජීවාණු තිබිය හැකි බවටත් විද්‍යාඥයන් අනුමාන කරයි. 

බෞද්ධ දර්ශනය මඟින් හෙළිවන විශ්වය

විශ්වය පිළිබඳ පැරණි කියවීම් අතර බෞද්ධ දර්ශනයට හිමිවන ස්ථානය වැදගත් එකකි. මීට වසර 2,500කට එපිට බිහිවූ බෞද්ධ දර්ශනය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළැයි සැලකෙන සූත්‍ර දේශනාවන්හි විශ්වය හා පිටසක්වළ ජීවය පිළිබඳ යම් යම් ඉඟි අපට සොයාගත හැකිය.  නූතන අභ්‍යවකාශ විද්‍යාව බිහි වුවද නොයෙකුත්  මතිමතාන්තර මත පෘථිවියෙන් පිටත අවකාශය මිනිසා තුළ නොයෙක් ප්‍රබන්ධ  නිර්මාණය කර ඇත. නමුත් බුදු දහමේ කියවෙන පහත කරුණු පිළිබඳ අධ්‍යයනය කිරීමේදී නවීන විද්‍යාවට පැහැදිලි කළ නොහැකි කාරණා බොහොමයක් මීට වසර 2,500කට ප්‍රථම හෙළිවී ඇතැයි අපට සිතිය හැකිය.

බුද්ධ දේශනාවල් තුළ යම් යම් තැන්හිදී සහස්සී ලෝක ධාතුව නම්  අපූරු අහස් කලාපයක් ගැන සඳහන් වී ඇත. හිරු දහසකින්, සඳු දහසකින්, ලෝක දහසකින් සැදි මෙම ලෝක ධාතුවේ විශාලත්වය වටහා ගැනීමට සාමාන්‍ය මනසකට පහසු නොවනා බවද තවදුරටත් එම දේශනාවේ සඳහන් වේ. (ආනන්ද වග්ගය, අංගුත්තර නිකාය) මේ කරුණු වර්තමානයේ ලැබී ඇති තොරතුරු අනුව සලකා බැලූ කල සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්වූයේ ක්ෂීරපථ මන්දාකිණිය බැව් අනුමාන කළ හැකිය. මේ සියල්ලේ සාරාංශය ගත් කල විශ්වයේ  පිහිටීම බුදුරජාණන් වහන්සේ මනා ලෙස දැන සිටි බව ගම්‍ය වන කාරණයකි.

මේ සියලු කාරණා සහ බෞද්ධ සූත්‍රවල සඳහන් බ්‍රහ්ම, දේව, ප්‍රේත ලෝකයන් හා ඒවායේ ස්භාවයන්ද එහි ගත වෙන කාලය සම්බන්ධ විස්තරයන්ද ගත් කල මේ  විශ්වයේ එකිනෙකට ඉතාම දුරින් පිහිටන ජීව ලෝක මිලියන, බිලියන ගණනින් පැවැතිය හැකි බවට සහ එහි වන ජීවයන් එකිනෙකට වෙනස් හා නොයෙක් පරිසර තත්ත්වයන්ට හැඩගැසීමෙන් බිහිවී ඇතැයි අපට සිතීමට ඉඟි සපයා ඇත. කාලයෙන් කාලයට වරින්වර ලෝකයේ සහ ශ්‍රී ලංකාව තුළ පිටසක්වළ ජීවය (UFO) පිළිබඳ සිද්ධි වාර්තා වුවද ඒවා පැහැදිලි වාර්තා වේ. කෙසේ නමුදු ජීවයේ ස්වභාවය අනුව අප සෞරග්‍රහ මණ්ඩලය තුළ තැනෙක එය ආරම්භ වීමට ඉඩ ඇතැයි යන්න ඉහත කරුණු මත අපට පිළිගත හැකිය. මන්ද පෘථිවි ජීවයට සමාන නොවුණද ඇතැම් රළු පරිසර තත්ත්වයන්ට මුහුණ දිය හැකි ජීවයන් විශ්වයේ ඕනෑ තරම් පැවැතිය හැකි නිසාවෙනි.  විශ්වය ජය ගැනීමට අප තාක්ෂණය වැඩිදියුණු වන තෙක් හෝ අප තාක්ෂණය පරයා ඉතාමත් දියුණු තාක්ෂණයක් ඇති එවන් ජීවයක් අප සොයා පැමිණෙන තුරු අප හට කළ හැකි එකම කාරණය වන්නේ නිරීක්ෂණය හා නිගමනය පමණකි.   

සමීර මදුශංක වන්නිආරච්චි