ටී.56 පැහැර ගැනීම කුමන්ත්‍රණයක් දැයි සැකයි

0
11

ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ උද්ඝෝෂකයන් අතර පසුගියදා ඇතිවූ ගැටුමකදී ටී. පනස්හය වර්ගයේ ගිනිඅවි දෙකක් පැහැර ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත දන්වා තිබේ.

ඒ කඩාකප්පල්කාරි කණ්ඩායමක් හෝ අපරාධ කණ්ඩායමක් විසින් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීම සඳහා සැලසුම්සහගතව එම ගිනිඅවි පැහැර ගත්තාද යන්න පිළිබඳව නිරීක්‍ෂණය කිරීම සඳහාය. එමෙන්ම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව අතර ගැටුමක් ඇතිකර ගැනීම සඳහා එම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වූවාද යන්න පිළිබඳවද එම පරීක්‍ෂණවල අවධානය යොමුකර ඇතැයි පොලිස්පතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම මෙහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ ඉදිරි දින කිහිපය තුළදී සාමකාමී උද්ඝෝෂණ සඳහා ඉදිරිපත් වන සාමාන්‍ය ජනතාව ව්‍යාජ ලෙස රවටා ගනිමින් විවිධ උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර සඳහා පොලඹවා ගෙන ඔවුන්ට මුවාවී ඇතැම් තැනැත්තන් විසින් ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට එරෙහිව මෙම ගිනිඅවි යොදා ගනිමින් යම් ආකාරයක සාපරාධී ක්‍රියාවක් කිරීමට හෝ එම ගිනිඅවි යොදා ගනිමින් නීත්‍යනුකූල රාජකාරි යොදවා සිටින නිලධරයන්ගේ ගිනිඅවි පැහැර ගැනීම සඳහා හෝ කටයුතු කළ හැකි තත්ත්වයන් බැහැර කළ නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් යුතුව රාජකාරිවල නිරත වන ලෙසට සියලුම පොලිස් නිලධාරීන්ට තමා උපදෙස් දුන් බවත් පොලිස්පතිවරයා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරුන් ලිඛිතව දැනුවත් කර ඇත. එමෙන්ම මේ සඳහා ත්‍රිවිධ  හමුදාපතිවරුන් දැනුවත් කිරීම සුදුසු බවටද පොලිස්පතිවරයා නිර්දේශ කර තිබේ.

පාර්ලිමේන්තුව අවට ආරක්‍ෂාව  සඳහා යොදවා සිටි ආරක්‍ෂක අංශ සාමාජිකයන් සහ එම ස්ථානයේ නියැළුණු කලහකාරි පිරිසක් අතර ඉකුත් 13 වැනිදා රාත්‍රි කාලයේදී ඇතිවූ ගැටුමේදී යුද හමුදාවට අයත් ටී. 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ එම පතරොම් 60ක් කලහකාරි පිරිස පැහැරගෙන ගොස් ඇති බවට යුද්ධ හමුදාව පැමිණිලි කිරීමෙන් පසු පොලිස්පතිවරයා ඒ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරු එසේ දැනුවත් කර තිබේ.