ජපානයට අහිමිවූ පර්මාදර්ශි නායකයා අබේ

0
229

ධවල පසුබිමේ රක්ත වර්ණයෙන් බැබළෙන සූර්යයා සහිත ධජය හිරු නැඟ එන දේශයට ගෙන ආවේ අභිමානයකි. එහෙත්  ජූලි 8 වැනි දින ඒ ධජයේ සූර්යයා රුධිරයෙන් නැහැවිණි.  හිරු නැඟ ආ දේශයේ හිරු බැස ගියේය. දිගු කලක් ජපානය පාලනය කළ සිය දේශය සාර්ථකත්වය කරා රැගෙන ගිය ෂින්සෝ අබේ ජාතියේම දෙපා බූරුවකු (ass ass in nation assassination) විසින් ඝාතනය කෙරිණි.  ජපානයේ දෙවැනි ළාබාල අගමැතිවරයා අකාලයේ  එලෙසින් ඝාතනය වුවද ඔහුගේ දේශපාලන දැක්ම හෙටද ජීවමානය. අබේ යනු රටේ නායකයා වීමටම උපන්නෙකි. එය දෛවෝප ගතවම ඔහුගේ ජන්ම උරුමයකි.

සිනමා නිර්මාණකරුවකු

වීම පසෙකලා දේශපාලනයට පාර කැපෙයි.

1954 සැප්තැම්බර් 21  වැනිදා ටෝකියෝ නුවරදී ෂින්ජුකු නම් දේශපාලනයට ප්‍රසිද්ධ පවුලට දෙවැනි වරටද ඉපදුණේ පුත්‍රරත්නයකි. ෂින්ජුකු පවුලට උපන් බාල පුතුට පියා ෂින්තාරෝ අබේ සහ මව යොකෝ කිෂි දෙවියන් හෝ ශුද්ධ වූ බලය යන තේරුම ඇති ෂින්සෝ යන නම තබන ලදී.

ෂින්සෝ කුඩා වියේ සිහින මැව්වේ සිනමාපට අධ්‍යෂක්ෂවරයකු වීමටය. එහෙත් පවුලේ දේශපාලන උරුමය ඔහු වෙනත් මාවතකට පිවිසීම වැළැක්විය. එය දෛවෝප ගත සිදු වීමකි. ඔහුගේ පියා දෙවැනි ලෝක යුද සමයේදී විදෙස් ඇමැති හා අන්තර්ජාතික වෙළෙඳාම පිළිබඳ ප්‍රධාන කැබිනට් ලේකම්වරයා ලෙසින් කටයුතු කළේය. ෂින්තාරෝ  දෙවැනි ලෝක යුද සමයේ මරාගෙන මැරෙන  කමිකාසේ නම් ගුවන් ඒකකයේ නියමුවකු ලෙසින් කටයුතු කිරීමට පුහුණු වූ අයෙකි.

ෂින්සෝගේ මවු පාර්ශ්වයෙන් මුත්තණුවන් වූ නොබුසුකේ කිෂි පවුලේ අන් කිසිවකුටත් වඩා ඔහුට පරමාදර්ශයක් විය. කිෂි හිදෙකි තෝජෝගේ අගමැතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ යුද උපකරණ පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය වශයෙන් කටයුතු කළ අතර පසුව ඔහු යුද අපරාධකරුවකු ලෙසින් සිරභාරයට පවා ගැනිණි. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය LDP පිහිටුවීමටද ඔහු උපකාර කළේය. 1957 සිට 1960 දක්වා ජපානයේ අගමැතිවරයා වූයේ නොබුසුකේ කිෂිය. ඔහු ෂින්සෝගේ අංක එකේ පරමාදර්ශය වීමට මේ සියලු කාරණා හේතු විය. 

අබේ, සීකෙයි ප්‍රාථමික හා උසස් පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබුවේය. සීකෙයි සරසවියෙන් 1977දී දේශපාලන විද්‍යාව  පිළිබඳ උපාධිය හිමිකර ගත්තේය. පසුව දකුණු කැලිෆෝනියා සරසවියට ඇතුළත් වූ ඔහු බාහිර සිසුවකු ලෙස ඉංග්‍රීසි භාෂාව හැදෑරුවේය. අනතුරුව ඔහු ඉතිහාසය, අන්තර් ජාතික සබඳතා දේශපාලන විද්‍යාව හැදෑරුවේය.

ඔහුගේ වෘත්තීය ජීවිතය ඇරැඹුණේ කෝබේ වානේ සමාගමිනි. 1982දී ඉන් ඉවත් වූ ඔහු ඉන් පසු රජයේ රැකියා ගණනක නිරත විය. විදෙස් කටයුතු අමාත්‍යාංශයේ විධායක සහායක නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපතිගේ පෞද්ගලික ලේකම් වැනි තනතුරු ගණනාවක නිරත වූ ඔහු පියාගේ ලේකම් වශයෙන් කටයුතු කිරීමේදී රටවල් 81කට යෑමට අවස්ථාව උදාවිය. අසූව දශකයේදී ඔහුට ලැබුණු ඒ අත්දැකීම පසු කාලීනව ඔහුට විදෙස් නායකයන් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් විය.

පියා 1991දී මියයෑමෙන් පසු අබේ 1993දී යමගුචි ප්‍රා‍න්තයට වැඩි ඡන්ද ගණනකින් තේරී පත්විය. 1999දී ඔහු සමාජ කටයුතු අංශයේ අධ්‍යක්ෂවරයා වූ අතර යොෂිරෝ මෝරි හා කොයිසුමී කැබිනට් දෙකේ ප්‍රධාන කැබිනට් ලේකම් වශයෙන් කටයුතු කළේය. අබේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ  මහ ලේකම් වූයේ ඉන් පසුවය. කොයිසුමි අගමැතිවරයාගේ කාලයේ ඔහු සමඟ 2002දී උතුරු කොරියාවේ කිම් ජොං හමු වීමට යෑම නිසා ජපන් ජාතිකයන් අතර ඔහු ජනප්‍රිය පුද්ගලයකු විය.

අබේ පක්ෂයේ අමතර ප්‍රජනක සෞඛ්‍ය  දැනුම ලබා දීමේ ව්‍යාපෘතියේ සහ ස්ත්‍රී – පුරුෂ වශයෙන්  ලිංගික වෙනසක් නැතිව අධ්‍යාපනය ලබාදීමේ ව්‍යාපෘතියේ නායකත්වය දැරුවේය.  සාම්ප්‍රදායිකව පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් වෙනුවෙන් ජපානයේ පාසල්වල පැවැති උත්සව තහනම් කෙරුණු අතර දරු දැරියන්ට මිශ්‍රව අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලබාදීම ව්‍යාපෘතියට අයත් කරුණු අතර විය. මේ සියල්ලට මඟ පෑදුවේ අබේගේ දේශපාලන නායකත්වයටය. 2006 අප්‍රේල් 23 වැනිදා ඔහු ජපානයේ පාලන පක්ෂය වන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්වයට තෝරා ගැනිණි.

ෂින්සෝ අබේ මුලින්ම අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2006 වසරේ සැප්තැම්බර් 26 වැනි දිනය. 1937දී, වයස අවුරුදු 46දී අගමැති ධුරයට පත් ෆුමිමාරෝ කෝනේට පසු එරට පාර්ලිමේන්තුවට තේරී පත්වුණු ළාබාලම අග්‍රාමාත්‍යවරයා වූයේ ඔහුය. ෂින්සෝ අබේ අගමැති ධුරයට පත්වෙන විට වයස අවුරුදු 52කි. දෙවැනි ලෝක යුද්ධයට පසු ඉපදී ජපානයේ අගමැති ධුරයට පත්වූ පළමුවැන්නා අබේය.

ඔහුගේ පත් වීමෙන් පසු පත්කළ කැබිනට් මණ්ඩලය අනුව පෙනී යන්නේ ඔහු රටේ ආර්ථිකය වැනි ගෘහස්ථ කරුණුවලට වඩා වැඩි අවධානයක් විදේශීය ප්‍රතිපත්තිවලට හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් යොමුකර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් වාර්තා කර තිබිණි. එහෙත්  ඔහු රටේ ආර්ථිකය වෙනුවෙන් වෙනම ප්‍රතිපත්ති මාලාවක් සකසා තිබිණි. අනූවේ දශකයේදී ජපානයේ කඩා වැටුණු ආර්ථිකයට ඔහු ජීවයක් දුන්නේය.

2007දී අබේ ඉල්ලා අස්වූයේ අන්ත්‍ර හා ගුද මාර්ගය ප්‍රදාහයට පත්වීම නිසා (ulcerative colitis අල්සර්‍ෙටිව් කොලිටිස් නමින් හඳුන්වයි.)   ඇති වූ රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගෙන පාලනය කිරීමටය. මේ ප්‍රදාහ තත්ත්වයෙන් ඔහු ගැටවර වියේ සිටම පීඩා වින්දේය. එහෙත් වෛද්‍ය ප්‍රතිකාර මඟින් දිගින් දිගටම රෝගය පාලනය කෙරිණි.  2012 දෙසැම්බර් 6 වැනි දින යළි ඔහු දෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. ඔහු 2013දී ඔහු ආර්ථීකය සවිමත් කිරීමට අබේ ආර්ථිකය රැගෙන ආවේය.  වසර 2012 වන විට ජපානය දෙවැනි ලෝක යුද්ධයට පසු ව්‍යසන ගණනාවකට මුහුණ දී තිබිණි. අතිවිශාල භූ කම්පනයක්, සුනාමියක් හා ෆුකුෂිමා න්‍යෂ්ටික කාන්දු වීම රටේ ආර්ථිකයට තදින්ම බලපෑවේය. 2013දී ඔහු, අබේ ආර්ථිකය ගෙන ආවේ එවැනි අභියෝගාත්මක කාලයකය.

 අබේ ආර්ථිකය “Abenomics”

ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති දශක දෙකක් ආපස්සට ගිය රටේ ආර්ථිකයට කෙතරම් ජීවයක් දුන්නාද කිවහොත් අපනයනය ඉහළ ගියේය. ඉහළ වැටුප් ලබා ගැනීමට සේවකයන්ට අවස්ථාව උදා විය. කාන්තාවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, විදේශිකයන් වැඩි වැඩියෙන් ශ්‍රම බළකායට එක්විය. දශක ගණනාවකට පසු විරැකියාව අවම මට්ටමකට පත්වී තිබිණි.  දෙවැනි ලෝක යුද්ධයට පෙර පැවැති සශ්‍රීකත්වය නොලැබුණත් ජපානයේ මෑත යුගයේ සාර්ථකම ආර්ථික දියුණුව අබේ ආර්ථිකය මඟින් උදා කෙරිණි. 2016දී ඔහු සිය ආර්ථික දැක්ම ගැන කළ කතාවකදී වර්තමානය ගැන කරදර වෙනවාට වඩා අප අනාගතය දෙස බැලිය යුතු බව පැවැසුවේය.  ජපානයේ ජනගහනය ශීඝ්‍රයෙන් වයස් ගත වෙමින් පවතිනවා. රටේ ජනගහනය අඩු වෙනවා. ඒත් අප මේවා සංවර්ධනයට ආධාරයක් කර ගත යුතුයි, වැඩිදුරටත් ඔහු කියා සිටියේය. ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ ලොව දෙවැනියට බලවත්ම ආර්ථිකය හිමි රට බවට පත් වන්නටත් ජපානයට හැකි විය. එහෙත් ඔහු බලාපාරොත්තු ඉලක්කය නම් සපුරාලීමට හැකි වූයේ නැත.  අබේ දළ ගෘහස්ථ

නිෂ්පාදනය / GDP 2020 වන විට යෙන් ටි්‍රලියන 600ට ගෙන ඒමට බලාපොරොත්තු වුණත් ඒ ඉලක්කය කරා ළඟා වීමට  නොහැකි විය. 

අබේ 2012 සිට 2020 දක්වාම අග්‍රාමාත්‍ය ධුරය දැරුවේය. 2020 අගෝස්තු 28 වැනිදා යළිත් ඔහු අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා අන්ත්‍ර ගුද ප්‍රදාහ තත්ත්ව උග්‍ර  වීමේ හේතුවෙන් ධූරයෙන් ඉල්ලා  අස්විය.

 ඝාතනය කිරීම

ජූලි 8 වැනිදා නාරා නගරයේ මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටියදී ගෙලට සහ පපුවට එල්ල වූ වෙඩි පහරකින් ජාතියට උදාර සේවයක් කළ ෂින්සෝ අබේ මියගියේය. කතාවක් පවත්වමින් සිටි අබේ වෙඩි වදිනවාත් සමඟ රුධිරය වෑහෙන පපුව  අල්ලා ගෙන ඇද වැටී ඇත. මියයන විට ඔහු 67 හැවිරිදි වියේ පසුවිය. 41 හැවිරිදි තෙල්සුයා යමගාමී නම් ඝාතකයා මාස ගණනක් හිටපු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට උත්සාහ දරා ඇත. ඔහු හිටපු අගමැතිවරයා ඝාතනය කර තිබෙන්නේ දේශපාලන ප්‍රතිවාදීකමක් නිසා නොවෙයි. ඔහුගේ මව යුනිෆිකේෂන් චර්ච් නම් 1954 දකුණු කොරියාවේ සියොල් නුවරින් ඇරැඹි ආගමික ක්‍රියාකාරිත්වයට සම්බන්ධ වී සියලු දේපළ විනාශ කර ගැනීමේ කෝපයෙන්

ඇවිළෙමින් සිටි ඝාතකයා ආබේ ඒ ආගමික ක්‍රියාකාරිත්වයට සහාය දෙන බවට විශ්වාස කළේය. අබේ මේ ආගමික ක්‍රියාකාරිත්වයේ උත්සව සඳහා වරින්වර සහභාගි වී ඇති අතර අබේගේ පියාද  ඡන්ද ව්‍යාපාර සඳහා මේ ආගමික ක්‍රියාකාරිත්වයෙන් මූල්‍ය ආධාර ලබාගෙන ඇති බවට වාර්තා වෙයි. එහෙත් අබේගේ පක්ෂ සාමාජිකයන් මේ වාර්තා ප්‍රතික්ෂේප කරයි. ලොව රටවල් ගණනාවක්ම දූරදර්ශී, සුහදශීලී  නායකයා වෙනුවෙන් ශෝක දින ප්‍රකාශයට පත්කර තිබිණි. යමගාමී කුමන අරමුණකින් අබේ ඝාතනය කළද හිරෝහිතෝ අධිරාජයාගේ මරණින් පසු ජපන් ජාතිකයන්  වෙනත් කිසිදු නායකයකුගේ මරණයෙන් මෙතරම් කම්පාවට පත්වූයේ නැත. ඔහු රටට ආර්ථික ස්ථාවරත්වයක්, ආරක්ෂාවක් ලබා දුන්නේය. ජපානයේ මෙවැනි ඝාතන ඉතා දුර්ල්‍ය බැවින් මහජනතාවගේ කම්පනය දෙගුණ තෙගුණ වී තිබෙයි. 

ලෝක නායකයන්ට ඔහු වටින්නේ අන්තර්ජාතික සබඳතා පැවැත්වීමට ඔහු දැක්වූ කුසලතාව හේතුවෙනි. 

අබේ විසින් රචිත Towards a Beautiful Nation කෘතිය ඉහළ අලෙවියක් ඇති කෘතියකි. අලංකාර ලෙස ඇඳුම් ඇඳීමට කැමැති නායකයෙක් විය.

 පෞද්ගලික දිවිය

අබේ විවාහ වී සිටියේ ආකී මත්සුසාකී සමඟය. ඇය මොරිනගා නම් චොකලට් නිෂ්පාදකයාගේ දියණියයි. දෙදෙනා දරු සම්පත් නැති නිසා මඳසරු බවට ප්‍රතිකාර කළද සාර්ථක ප්‍රතිඵල නොලැබිණි. අබේ බුදු දහම සහ ෂින්තෝ දහම අදහන්නෙකි. ඔහුගේ වැඩිමල් සොයුරු හිරොනොබු අබේ මිත්සුබිෂි ෂෝජී ඇසිරුම් සමාගමේ සභාපති සහ  ප්‍රධාන විධායක නිලධාරියාය.  බාල සොයුරු නොබුඕ කිෂි විදේශ කටයුතු පිළිබඳ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය අමාත්‍යවරයාය.

අබේ ඝාතනය වුවද ඔහුගේ චින්තනය යෝධ සෙවණැල්ලක් ලෙස තවත් දශක ගණනාවක් යනතුරු ජපාන දේශපාලන ක්ෂේත්‍රයේ පවතිනු ඇත. අබේගේ දර්ශනය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට ජපන් පුරවැසියන් ඡන්දයෙන් මනාපය  දී  අවසන්ය.

අබේ අන්තර්ජාතික සම්මාන ගණනාවක් දිනා ගත්තෙකි. ඔහුගේ විදෙස් ප්‍රතිපත්තිය නිසා 2013 වසරේදී උසස්ම ගෝලීය චින්තකයන් සියදෙනාගෙන් කෙනකු ලෙස අමෙරිකානු රජයෙන් සම්මානයට පාත්‍ර විය. ඒ වසරේදීම වසරේ ආසියාතිකයා ලෙසින් සිංගප්පූරුවේ ලද ‘සට්‍රෙයිට්ස් ටයිම්ස්’ පුවත්පත් ආයතනයෙන් සම්මාන දිනා ගත්තේය. 2014 වසරේත් 2018 වසරේත් ටයිම් සඟරාව මඟින් වසරේ ලොවට ආදර්ශ ගත හැකි අයුරින් බලපෑ චරිත සියයට ඔහුගේ නමද ඇතුළත් කර තිබිණි. ලෝක රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙසින් අමෙරිකාවෙන් ඔහු සම්මානයට පාත්‍ර වූයේ 2021දීය. නේතාජි සම්මානය අබේට ඉන්දියාවෙන් පිරිනැමුවේ 2022 ජනවාරි මාසයේදීය.

ලෝකයේ සරසවි ගණනාවකින් අබේට ගෞරව ආචාර්ය උපාධිය පිරිනමා ඇත.

තායිලන්තයේ රන්ජිත් සරසවියෙන් 2013දීද ජවහර්ලාල්නේරු සරසවියෙන් 2015දීද තුර්මෙනිස්ථානයෙන් 2015දීද මැලේසියාවේ අන්තර්ජාතික සරසවියෙන් 2022දීද ඔහුට ගෞරව ආචාර්ය උපාධිය පිරිනැමිණි.

අන්තර්ජාලයෙනි

චම්පිකා දීපානි රණසිංහ