අරගලකරුවන් ‍ෙදාරටුව කඩද්දී මන්දිරය ඇතුළේ සිදු වූ රටම නොදන්න කතාව

0
210

අරගලයේ නියුතු ජනතාවගේ ග්‍රහණයට ලක්වූ ජනපති මැඳුර හා අරලියගහ මැඳුර සේම ජනපති _ අගමැති ලේකම් කාර්යාල දැන් ආරක්ෂක අංශවලට භාරදී අවසන්ය. මේ භාරදීම සිදුවූයේ නීතිඥ සංගමය හා අරගලයට සක්‍රියව තම දායකත්වය ලබාදුන් විවිධ පාර්ශ්වවල ඉල්ලීමට අනුවය. “අපි මේ මැඳුරු පොදු ජනතාවගේ දේපොළ හැටියට සලකනවා.

ඒවා ආරක්ෂා කිරීම අපේ යුතුකමක්. ඒ නිසාම තමයි අපි දැනටත් මේ මන්දිර පරිශ්‍ර පිරිසුදු කරලා ආරක්ෂාකාරී වැඩපිළිවෙළක් සකසා තිබෙන්නේ.” මෙසේ කීවේ ඒවා අරගලකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබූ අවස්ථාවේ දී  ක්‍රියාකාරි අරගලකරුවකු වූ ළහිරු වීරසේකරය.  මීට පෙර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ ළහිරු අදත් ඔවුන් සමඟ එක්වී කටයුතු කරන්නේ පවතින දේශපාලන ව්‍යුහයට අභියෝග කරමිනි.

“අපි ජුනි 09 වැනිදා මේ පරිශ්‍රයට වගේම අරලියගහ මන්දිරයටත් ඇතුළු වුණේ මහා විනාශයක් කරන්න නෙමෙයි. නමුත් මේ විරෝධතාවට එකතු වූ අති විශාල ජනගඟ අපටත් පාලනය කරන්න බැරි වුණා. ඒ ජනතාව ගේට්ටු කඩාගෙන ඇතුළු වුණේ මේ පාලනයට ඇති දැඩි විරෝධය නිසාමයි.

එහෙම ආපු අය අතර විවිධ පුද්ගලයෝ ඉන්නා බව අපි දන්නවා. පාලනයක් නැතිව හැසිරෙන බවත් අපි දන්නවා. ඉතින් එහිදී ලොකු හානියක් වුණා නම් ඒ තත්ත්වයටත් වග කියන්න ඕන මේ අමන පාලකයෝයි. මොකද මෙතන වෙන විනාශයට වඩා විනාශයක් ඔවුන් රටට කළා.

නමුත් දැන් අපි ක්‍රමානුකූලව මෙහි ආරක්ෂාව තර කළා. අපේ සහෝදරයෝ මන්දිරයේ හැම තැනකම ආරක්ෂාවට ඉන්නවා. ඔවුන් සාමාන්‍ය ජනතාවට මෙහි ඇති කිසිදු දේකට හානි කරන්න දැන් ඉඩ දෙන්නේ නැහැ.” ළහිරු වීරසේකර කියා සිටියේය.

අරගලයේ නියුතු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ සිසු සිසුවියන් ඇරුණු විට ඔවුන්ට පන්නරයක් ලෙස නැඟී සිටි විවිධ පුරවැසි සංවිධාන මේ ජන අරගලය ශක්තිමත් කළේ වත්මන් පාලනයේ ඇති පීඩාකාරී බව දරාගත නොහැකි නිසාමය.  ඔවුන් බැරියර් කඩා තාප්ප පෙරළා මන්දිර තුළට ඇතුළු වූයේ ආරක්ෂක අංශවල උදවිය පවා මවිතයට පත් කරමිනි.

මේ කඩා පාත්වීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පවා බලාපොරොත්තු නොවූ තත්ත්වයකි.

“සර් ඒ වෙලාවේ මන්දිරේ හිටියේ. ආරක්ෂක අංශ වහාම ඒ බව දැනුම් දුන්නට පස්සේ තමයි සර් යන්න ගියේ. මන්දිරේ පිටුපස තියෙන ‍ෙදාරටුවෙන් තමයි පිටත් වෙලා නාවික හමුදා පිවිසුම දක්වා ගියේ.

ඇත්තටම කිව්වොත් අරගලකරුවෝ මන්දිරයට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව අසලට එද්දි වගේ තමයි සර් යන්න ගියේ. ඒක මාරම මාර අවස්ථාවක්. අපි හැමෝම තිගැස්සිලා හිටියේ. ආරක්ෂක අංශ තාප්පවලට වෙඩි තිය තියා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටියේ සර්ට පිටත් වෙන්න වෙලාව හදා ගන්නයි.

ජනපති මන්දිරයේ ඇතුළත ආරක්ෂාව භාරව සිටි නිලධාරියකු එසේ කීවේ එදා ඇති වූ තත්ත්වයේ පැවැති බිහිසුණු බව මනාව කියාපාමිනි.

“සර්ලා අතට අහුවෙන වුවමනාම දේ අරගෙන ගියා මිසක කලින් ප්ලෑන් කරගෙන පැනලා ගියේ නැහැ. එහෙම යන්න වේවි කියලා හිතුවෙත් නැහැ. මොකද ඊට පෙරත් ජනපති මන්දිරයට ඇතුළු වෙන්න ආපු විරෝධතාකරුවන්ව ආපහු හරවලා යැව්වනේ.”

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජනපති මන්දිරයට ගියේ මිරිහානේ නිවෙස වටකොට ජනතාව දැක්වූ විරෝධතාවයෙන් පසුවය.  ජීවිත ආරක්ෂාව පතා ජනපති මන්දිරයට පිවිසි රාජපක්ෂ ජනාධිපතිවරයා ජූලි 09 වැනිදා වනතුරු සිටියේ නිවාස අඩස්සියේ බව නොරහසකි.  අවසානයේදී ජනපති මන්දිරයේ ආරක්ෂාවත් ඔහුට අහිමි විය.

“සර් එදා හොඳටම කලබල වෙලයි හිටියේ. බෑග් 4ක් විතරයි අරගෙන ගියේ. කලබලයෙන් වාහනවලට නැඟලා ගියේ සිද්ධවෙන්න ගිය විනාශය අවබෝධ වූ නිසාම වෙන්න ඇති.”

මේ සිදුවීම වන විට වේලාව උදේ 11 පසු වී තිබිණි. අරගලකරුවන් මන්දිරයට ඇතුළු වූයේ ඒ නිමේෂයේදීය.

“ඊට පස්සේ මන්දිරයේ පාලනය ගිලිහී ගියා. ඉවක් බවක් නැතිව මිනිස්සු මන්දිරයේ ඇති සියලුම කාමරවලටයි ශාලාවලටයි ඇතුළු වුණා. සමහරු අහුවෙන අහුවෙන දේ කැඩුවා. තවත් අය අහුවෙන අහුවෙන දේ අරන් ගියා. ඇත්තම කිව්වොත් ඒ අරන් ගියේ මොනවද?  නැති වුණේ මොනවද කියලා කාටවත් ගණන් හිලව් ඇතිව කියන්න බැහැ.  කාමරවල තිබුණු කබඩ් කඩලා ඒවා ඇතුළේ තිබුණු දේවල් පවා අරන් ගියා.” එම ආරක්ෂක නිලධාරි මහතා කීවේය.

මෙවැනි අරගලයකදී සුපිරිසුදු අරගලකරුවන් හා අරගලයේ මුවාවෙන් පැමිණෙන විනාශකාරී පුද්ගලයන් හඳුනා වෙන් කර ගැනීම අපහසුය.  විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ආර්ථික පීඩනයෙන් හෙම්බත් වී සිටින උගත්කමක් නැති පුරවැසියන් උත්සාහ ගන්නේ එවැනි අවස්ථාවකදී පවා හරිහම්බ කරන්නටය. එදා මන්දිර තුළට කඩාවැදුණු අය අතරත් එවැන්නෝ එමට සිටියෝය.

ඔවුහු අතට හසුවන බොහෝ දේ බෑග්වලට දමා ගත්තෝය. සාක්කු පුරවා ගත්තෝය.

ජනපති මන්දිරයේ තත්ත්වය එසේ වෙද්දී ඒ මොහොතේම අරලියගහ මන්දිරයට ඇතුළු වූ ඇතැම් පුරවැසියන් කළේද ඒ නොහොඹිනා ක්‍රියාවමය. සැබෑ ජන අරගලකරුවන් ජන පීඩිත ආණ්ඩුව ගෙදර යැවීමට හා ගෝඨා-රනිල්  ආණ්ඩුව පලවා හැරීමට උත්සාහ දරද්දී නොහොඹිනා පුරවැසියෝ සොරකම් හා මැරකම්වලට  නායකත්වය ලබා දුන්හ.

“අරගලයකදී ඔවැනි දේ සිදුවනවා. ඒවා හැමදාම එහෙම වෙනවා. ඒකට වගකියන්න ඕන මේ අමන පාලකයෝ. ඔවුන් හොරකම් කරද්දී කොහොමද පුරවැසියෝ කරන දේවල් නවත්වන්නේ?” එසේ කියන්නේ ජන අරගලයේ නියුතු නායකයන්ය.

කෙසේ හෝ අවසානයේදී මේ නායකයෝම මේ වටිනා කියන ස්ථාන හා බඩු භාණ්ඩ ආරක්ෂා කරගැනීමට ක්‍රියාමාර්ගයක් සැකසූහ. ඒ අනුව ජනපති මැඳුරේ ආරක්ෂාව හා පැවැත්ම භාරගත්තේ සැබෑ අරගලයේ නියුතු තරුණ පිරිසමය.

ඔවුන් ඉහළ මාලයට යන ලී තරප්පු පේළිය ආරක්ෂා කිරීමට යුහුසුලුව කටයුතු කළේ මැඳුර නරඹන්නට එන ජනතාව පාලනය කරමින් හා දැනුවත් කරමින්ය.

“ඊට අමතරව මන්දිරයේ සියලු වගකිව යුතු තැන් ආරක්ෂා කළේ ඒ තැන්වලට පිවිසෙන ‍ෙදාරටු ලණු හා මේස යොදා අවහිර කරමිනි. එමෙන්ම තරුණ සිසුන් සිසුවියන් ඒ ඒ තැන්වල ස්ථානගත කරමිනි.

“දැන් අපේ සහෝදර සහෝදරියෝ මේවා සුද්ද පවිත්‍ර කරනවා. ඒ වගේම ඒවා ආරක්ෂා කරනවා. ඊට අමතරව තමයි අපි පුරාවිද්‍යා නිලධාරි මහත්තුරුත් ගෙන්වලා මෙහි ඇති සියලුම බඩු බාහිරාදිය ගැන වාර්තාවක් සකස් කරන ලෙස ඉල්ලා සිටියේ. ඒ අනුව ඒ මහත්වරුන් ඇවිත් ඒ යුතුකම කළා”

ළහිරු වීරසේකර එසේ කීවේ මේ සාකච්ඡාවලට සම්බන්ධ වූ පුරවැසියකු ලෙසය.

“ඒ වගේම අපි ඉල්ලීමකුත් කළා මේ මන්දිර ඊළඟට එන ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට වෙන් කරන්න එපා කියලා. මේවා නඩත්තු කරන්න අතිවිශාල කාර්ය මණ්ඩලයක් ඒ නායකයෝ ගන්නවා. ඒවා ජනතාවගේ සල්ලි. මේවා ජනතාවගේ දේපළ.

ඒ නිසා මේවා පුරාවිද්‍යා වටිනාකමක් ඇති තැන් බවට නම් කරලා වෙන් කරලා තියාගන්න ඕනෑ. මේවා ජනතාවට විවෘත කර තිබුණා නම් ඔවුන් මේවා බලන්න පොරකකා එන්නෙ නැහැ මේවා රටේ සම්පත්, නායකයන්ගේ සම්පත් නෙවෙයි“ ළහිරු වැඩිදුරටත් කීවේය.

අරගලයේ නියුතු සිසුන් සිසුවියන් මෙන්ම ක්‍රියාකාරි වගකිව යුතු පුරවැසියන් ජනපති මැඳුර හා අරලියගහ මැඳුර එසේ ආරක්ෂා කරද්දී තවත් පිරිසක් ඊට එරෙහිව කිසිදු වග විභාගයක් නැතිව හැසිරෙන ආකාරය අප දුටුවේ අරලියගහ මන්දිරයට ගිය රාත්‍රියකදීය.

ඔවුන් කන බොන දේ තැන් තැන්වල දමා අපිරිසුදු කළේ වගකීමකින් තොරවය. තවත් අය අහුමුලුවල මල මුත්‍රා කර ඇත්තේ පරිසරය අපවිත්‍ර කරමිනි. මේ තත්ත්වය ජනපති මැඳුරේ නාන තටාකය හා ඒ අවට මෙන්ම කෙළවරක වන්නට තිබූ බෝධිය අසලද දැකගන්නට ලැබිණි.

“මිනිස්සු මෙතැනට එන්නේ බලන්න නෙවෙයි ලැගුම් ගන්න. ඒ අය අරගලය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. සමහරු නරකම විදිහට හැසිරෙනවා. උඩු මහලේ කාමරවල තිබුණු ඇඳ මෙට්ට පවා පහළ තියෙන තණකොළ පිට්ටනියේ දාලා නිදාගත්තා.

ඇත්තටම මෙතැන අද වැඩිපුර ඉන්නේ කොළඹ පැල්පත්වල ඉන්න, වතු නිවාසවල ඉන්න මිනිස්සු. ඔවුන් උයාගෙන කනවා. ගෙදර යනවා. ඒ යද්දි අහුවෙන අහුවෙන දේ අරන් යනවා. කොටින්ම අද අරලියගහ මැඳුරේ පිඟන් පවා බෑග්වල දමාගෙන යනවා.

මේ තත්ත්වය අපට විතරක් නෙවෙයි අරගලයේ නියුතු අයට පවා පාලනය කරන්න බැහැ. ඒ නිසාම ඔවුන් විටින්විට මෙගා ස්පීකර් යොදාගෙන ජනතාවට පණිවුඩ ලබාදෙනවා. මේ භූමිය ආරක්ෂා කරන්න කියලා ඉල්ලා සිටිනවා” අරලියගහ මන්දිරයේ ආරක්ෂාවට ඉන්න පොලිස් සේවයේ නියුතු නිලධාරියෙක් අප සමඟ කීවේය. එමෙන්ම ඔහු කියූ තවත් සානුකම්පිත කාරණයක් මෙහි සඳහන් කරන්නේ මේ නිලධාරි මහත්වරුන් පත් වී සිටින අන්ත අසරණ තත්ත්වය අනාවරණය කළ යුතු නිසාමය.

“අපි යුනිෆෝම් එක ඇඳගෙන මේ කරන නොහොඹිනා ක්‍රියා බලා ඉන්නවා. අපි අසරණ වෙලා ඉන්නේ. පාලකයෝ මේ කරන දේවල් නිසා අපිත් අසරණයි. රටත් අසරණයි. බලන්න මෙතැන සිද්ධ වෙන දේවල් අපි විතරක් නෙවෙයි සැබෑ අරගලයේ නියුතු අයවත් අනුමත කරන්නේ නැහැ. ඒත් ඒ අයටවත් අපිටවත් මේවා නවත්වන්න බැහැ. ඊට පස්සේ වෙන්නේ වෙන ආරවුලක්.”

ජනපති මැඳුරේ සහ අරලියගහ මන්දිරයේ ඇති පෞරාණික වටිනාකම ගැන හා ඒ මන්දිරවල ඇති බඩු භාණ්ඩ ගැන අපි වෙනම සාකච්ඡා කළ යුතුය. ඇතැම් බඩු භාණ්ඩ රාජ්‍ය නායකයන්ගෙන් තෑගි සහ සිහිවටන හැටියට ශ්‍රී  ලංකා රාජ්‍යයට ලැබුණු දේය. එහෙත් ඒවායින් දැන් අති බහුතරයක් අතුරුදන්ය. පැහැරගෙනය. එමෙන්ම මැඳුරුවල තිබූ බොහෝ බඩු භාණ්ඩවලට පවා මැරයන් දැඩි අලාභහානි සිදුකර ඇත.

“ජනපති මැඳුරේ තියෙන වටිනාම චිත්‍ර අරගලයේ නියුතු සිසු සිසුවියන් එක්රැස් කරලා කාමරයකට දාලා ලොක් කළා. ඒත් බොහෝ දේ නැති වුණා. ඒවා මොනවාදැයි සොයාගන්න බැහැ” එසේ කීවේ ජනපති මන්දිරයේ කෙනෙකි. එහෙත් අරලියගහ මන්දිරයේ තත්ත්වය ඊට වඩා වෙනස්ය.

“මෙහි බිත්තියක තිබුණු චිත්‍ර පවා දැන් නැහැ. තැන් තැන්වලට ලස්සනට තිබුණු බඩු භාණ්ඩ මොකුත් නැහැ. ලී බඩු පවා කඩලා බිඳලා දාලා” ආරක්ෂක අංශයේ නියුතු කෙනකු එසේ කීවේ කනගාටුවෙනි.

අරගලයකදී මෙවැනි දේ සිදුවීම ස්වාභාවිකය. බඩු භාණ්ඩ, ගොඩනැඟිලි පමණක් නොව ජීවිත හානි පවා ඇතිවීම ස්වාභාවිකය. ගිනි කන්දකින් පිනිබිඳු බලාපොරොත්තු විය නොහැකිය.

එහෙත් මෙහිදී අප එක් අතකින් සතුටු විය යුත්තේ දැඩි ජීවිත හානිවලින් තොර අරගල සිදුවන බැවිනි. උද්ඝෝෂණ සිදුවන බැවිනි. කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල වුණත් තවමත් කෘෘර ලෙස වෙඩි ප්‍රහාර නම් එල්ල වී නැත. ඒ ආණ්ඩුවේ ඉවසීම කෙසේවෙතත් අරගලකරුවන්ගේ සාමකාමී ජන උද්ඝෝෂණවල ඇති ප්‍රබුද්ධත්වය නිසාමය. ගෝඨා ගෝගම ගොඩනඟා ජන අරගල ශක්තිමත් කළ දිනයේ සිටම මේ අරගලකරුවන් උත්සාහ කළේත් කියා පෑවේත් මේ ජන අරගල සාමකාමී ලෙස සිදුකරන බවය. එනම් ඊට මුවා වී මැරකම් කරන්නේත්, සොරකම් කරන්නේත් අරගලයට මුවා වී සිටිනා වෙනත් කල්ලි කණ්ඩායම්ය.

කෙසේ හෝ මේ ලියන මොහොත වනවිට අරලියගහ මන්දිරය හා ජනාධිපති මන්දිරය පුරාවිද්‍යා නිලධාරීන්ගේ අධීක්ෂණය ඇතිව ආරක්ෂක අංශයේ මැදිහත් වීමෙන් පෙර පරිදි සැකැසෙමින් තිබේ. ඊට අමතරව නැතිවූ බඩු භාණ්ඩ හා ලියකියවිලි සම්බන්ධව පොලිස් පරීක්ෂණ කටයුතු කෙරෙමින් තිබේ.

සමන් ප්‍රියංකර නම්මුනිගේ