රට ස්ථාවර නොවුණහොත් වෙන්න යන දේ ගැන මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

0
1167

නුදුරේදී ම ස්ථාවර ආණ්ඩුවක් ඇති නොකළහොත් රට අකර්මණ්‍ය වීමට ඉඩ ඇති බවට මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා තිබේ.

BBC පුවත් සේවයේ Newsnight වැඩසටහනට එක් වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අත්‍යවශ්‍ය ඛනිජ තෙල් සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය සොයා ගත හැකි ද යන්න පිළිබඳව “දැඩි අවිනිශ්චිතතාවයක්” පවතින බව ය.

“අපට ඩීසල් නැව් තුනක් සහ පෙට්‍රල් නැව් එකක් හෝ දෙකක් සඳහා මුදල් යෙදවීමට හැකි වී වුණා. නමුත් ඉන් ඔබ්බට රටට අත්‍යවශ්‍ය ඛනිජ තෙල් ගෙන්වීම සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය ලබා දීමට අපට හැකිවේ ද යන්න ගැන අවිනිශ්චිතතාවක් තියෙනවා.

එහෙ ම නොවුණොත් මුළු රට ම වහලා දානවා වගේ තමයි වෙන්නේ. ඉතින් ඒකයි මට ඕන තීරණ ගන්න පුළුවන් අගමැති කෙනෙක්, ජනාධිපති කෙනෙක්, කැබිනට් එකක්. එහෙම නැතිවුණොත් ඔක්කොම මිනිස්සු දුක් විඳීවි.”

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය හිමියන් සමග ශ්‍රී ලංකාව සිදු කරන සාකච්ඡාවලින් හොඳ ප්‍රගතියක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

නමුත් එම ක්‍රියාවලිය සඳහා ගත වන කාලය රඳා පවතින්නේ, කොපමණ ඉක්මනින් ස්ථාවර පරිපාලනයක් ඇතිවේ ද? යන්න මත බව ඔහු පෙන්වා දී ඇත.

වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, ස්ථාවර රජයක් ස්ථාපනය වූ පසු, ශ්‍රී ලංකාවට “මාස තුන හතරක් හෝ පහක් ඇතුළත” කොතැනින් හෝ අර්බුදයෙන් ගොඩ ඒමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

මහ බැංකුව අධිපතිවරයා නව ජනාධිපතිවරයෙකු විය හැකි බවට පෙනී ගිය බවට ප්‍රකාශ පළ වුව ද ඔහු එය ප්‍රතික්ෂේප කරන බව පෙනී ගියේ, “මට කිසි ම දේශපාලන තනතුරක් ගැනීමට අවශ්‍ය නැත” යනුවෙන් පැවසීමෙන් පසුව බව BBC පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර තිබේ.