ශ්‍රී ලංකාවේ අර්බුදය හමුවේ IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

0
567

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදල සඳහන් කරන්නේ, IMF වැඩසටහනක් පිළිබඳ සංවාදයක් නැවත ආරම්භ කිරීමට ඉඩ සලසන දේශපාලන අර්බුදය ඉක්මනින් විසඳනු ඇතැයි අපේක්ෂා කරන බව ය.

“අපි ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරමින් සිටිමු,” යනුවෙන් ශ්‍රී ලංකාව සඳහා IMF ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ශ්‍රී ලංකාව සඳහා වන IMF දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

“මුදල් අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අපගේ සගයන් සමග තාක්ෂණික සාකච්ඡා දිගට ම කරගෙන යාමට අපි සැලසුම් කරන අතර ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහනක් පිළිබඳ අපගේ සංවාදය නැවත ආරම්භ කිරීමට ඉඩ සලසන වත්මන් තත්ත්වයට විසඳුමක් අපි බලාපොරොත්තු වෙමු,” යනුවෙන් ඔවුන් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය දා ශ්‍රී ලංකා රජය කළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබිණි.

දිවයිනට පැමිණි එහි නියෝජිතයින් සමග පසුගිය දා එම සාකච්ඡා පැවැත්විණි.