මහ මඟ දුක් විඳින වැඩිහිටි පරපුර ගැන මහලු පාලකයො නොදකින ඇත්ත

0
25

වයෝවෘද්ධ අම්මා කෙනෙක් හීන්සිරූවට ඇවිදගෙන විත් මා ඉදිරියේ නතර වූවාය.

‘පුතේ… මහ ඉස්පිරිතාලෙට තව දුරද..?’ ඇය ඇසුවේ මොහොතක් ගිමන් නිවා ගැනීමෙන් අනතුරුවය.

“ඔහොම ඉස්සරහට ගිහින් දකුණට හැරිලා ටිකක් විතර ඉස්සරහට යන්න අම්මේ…” එසේ කී මම පසුව මෙසේ ප්‍රශ්න කළෙමි.

“අම්මා කොහේ ඉඳලද එන්නේ…?”

ඇය පිළිතුරු දුන්නේ දිගු සුසුමක් හෙළීමෙන් පසුවය.

“මොරටුවේ ඉඳලා ආවේ පුතේ… 154 බස් එකේ ඇවිත් අර එහා පැත්තෙන් බැස්සා… හැමදාම එන්නේ එහෙමනේ. ඇවිත් ත්‍රීවීලර් එකක ඉස්පිරිතාලෙ ළඟට යනවා. දැන් කොහේ යන්නද…? අස්ප ගණන්නේ ඉල්ලන්නේ. ලාබෙට ත්‍රීවීලර් හොයා ගන්න බැහැ.” ඇය එසේ කියා යන්නට ගියාය.

කොළඹ නගර සභාව ඉදිරිපිටදී හමුවුණු ඇය සේම බොරැල්ලේදී මට හමුවූ වැලිපිල්ලෑවේ 70 හැවිරිදි මව කීවේද සංවේදී කතාවකි. රෙදි බෑග් දෙකක් අතැතිව සිටි ඇයට වටපිටාවේ අය උදවු කළේ රාජගිරිය බලා යන බස් රථයකට ගොඩවීම සඳහාය.

දණහිස් අමාරුවෙන් පෙළෙන ඇය පැමිණ තිබුණේ රාජගිරිය ආයුර්වේද රෝහලට ඇතුළුවීමේ අදහසිනි.

“වැලිපිල්ලෑවේ ඉඳලා මෙහාට එන්න බර ගාණක් බස් කුලී යනවනේ දරුවෝ. ඉතින් මම මගේ දුවට කිව්වා ඔයා එන්න එපා මම තනියම යන්නම් කියලා. පාරේ ඉන්න දරුවෝ මට උදවු කරයි කියලත් කිව්වා. මොනව කරන්නද පුතේ බස් එකේ දෙන්නෙකුට එන්නත් දැන් ලොකු ගාණක් ඕනනේ. අනික තෙරපිලා, පොඩිවෙලා අද කාලේ ගෑනු දරුවෙක් බස් එකක එන්නේ කොහොමද දරුවෝ?

අපේ රටේ තෙල් ප්‍රශ්නයට තවමත් හරිහැටි විසඳුමක් නැත. ඒ විසඳුම ලැබෙන කාලය දක්වාම වටින් ගොඩින් ඇහෙන දකින පිළිතුරු නැති ප්‍රශ්න සංඛ්‍යාව කොපමණදැයි සිතා ගැනීමට පවා අපහසුය.

දැන් ඒ ප්‍රශ්න ගොඩේ එරී වඩාත් අසරණ භාවයට පත්වී සිටින්නේ මහලු මවුපියන් හා පාසල් වයසේ පසුවන දරු දැරියන්ය.

කාලයක් අපේ රටේ නාගරික හා අර්ධ නාගරික රෝහල් පිරී ඉතිරී ගියේ ඒ රෝහල්වල වෛද්‍ය සායන පවත්වන දිනවලදීය. මේ කාලයට එම රෝහල් කරා පැමිණෙන රෝගීන් සංඛ්‍යාව සුළුපටු නැත.

“දැන් අපිට මාසෙකට වරක් බෙහෙත් දෙනවා. මීට මාස තුනකට හතරකට ඉස්සෙල්ලා මාස දෙකකට වරක් ක්ලිනික් එන්න කියලයි බෙහෙත් දුන්නේ. දැන් බෙහෙත් නැති නිසා මාසයක් ගානේ එන්න කියනවා. කෝ මහත්තයෝ මේවට සල්ලි….? ඉස්සර රුපියල් 40ක් දීලා බස් එකේ ආපු අපි දැන් රුපියල් 98ක් බස් එකට දෙනවා. යන්න එන්න රුපියල් 200යි. ත්‍රීවීලර්වල ආපු මම හති ඇර ඇර පයින් එනවා. ජීවත් වෙන්න සල්ලි නැහැ. පුතාගේ ත්‍රීවීලර් එකත් ගෙදර. තෙල් නැහැනේ.

මේ මහලු කාන්තාව කී කතාවෙන් අපට තේරුණේ අද බෙහෙත් ගැනීම සඳහා ඒමට මෙන්ම කන්න බොන්න පවා මුදල් නැතිව ඒ දරු පවුල අසරණ වී සිටින බවය.

බොහෝ විට අපේ රටේ දේශපාලනඥයෝ පවසන්නේ වත්තේ වවාගෙන කෑමට පුරුදු වන ලෙසය. එහෙමත් නැතිනම් කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කාවලට හුරුවන ලෙසය.

කතිරය ගසා අපේ රටේ ඡන්ද දායකයෝ මේ වගකීම් විරහිත දේශපාලුවන්ව තෝරා පත්කර ගත්තේ මෙවැනි වහසිබස් ඇසීමටදැයි විටෙක අපට සිතේ. එහෙත් ඔවුන්ට අමතක වී ඇති ප්‍රධානම කාරණාව තෙල් හා ඔෟෂධ හිඟය ගෙවත්තෙන් සපුරා ගැනීමට නොහැකි බවය. එසේ නම් ඒවා මෙරටට ගෙන්වා මේ රටේ ජනතාවට දිය යුතුමය. එසේ නොවන කල ඔවුන් මුහුණ දෙන ගැටලු ගොන්න මෙපමණ යැයි කිව නොහැකිය.

“අද හුඟාක් මහලු අම්මලා තාත්තලා ගෙවල්වල හිර වෙලා. ඉස්පිරිතාලෙකට එන්න තරම්වත් ආර්ථික හයියක් නෑ. ප්‍රවාහන පහසුකම් නෑ. ඉදිරියේදී බෙහෙත් නැතිව කොයි තරම් පිරිසක් මිය යයිද කියලා කියන්න බැහැ. මහ රෝහල අසලදී හමුවූ නිට්ටඹුවේ සිට පැමිණි තාත්තා කෙනකු කීවේ ඔහු මුහුණ දී සිටින ආර්ථික ගැටලුව ගැනද මා හට කියමිනි.

“බෙහෙත් ගන්න ආවේ අනුන්ට අත පාලා. මොකද ගාමන්ට් එකේ වැඩ කරපු මගේ කොල්ලො දෙන්නාටම දැන් රස්සාව නැහැ. ප්‍රවාහන පහසුකම් නැති නිසා රස්සාවට යන්න විදිහක් නැහැ.” ඔහු කඳුළු පිරි දෑසින් යුතුව කීවේය.

බෙහෙත් පෝලිමට ඒමට නොහැකිව ඉන්නා මෙවැනි මහලු මවුපියවරුන් දැන් නිරන්තරයෙන්ම දකින්නට ලැබෙන්නේ තෙල් හා ගෑස් පෝලිම්වලය. එක්කෝ භූමිතෙල් පෝලිම්වලය.

“දුව කුලී රස්සාවකට ගිහින්. එයා ‍ෙදාස්තර මහත්තයකුගේ දරුවෙක් බලා ගන්නවා. පුතා එයා වැඩ කරන තැන මහත්තයාගේ වාහනේ එක්ක පෙට්රල් පෝලිමේ. දැන් දවස් තුනක ඉඳන් ගෙදර නැහැ.”

“මම මේ පුංචි දරුවෝ දෙන්නා එක්ක ආවේ භූමිතෙල් ටිකක් අරන් යන්න. භූමිතෙල් එනවා කිව්වට වේලාවක් කියන්නේ නැහැ. ඉතින් එනතුරු ඉන්නවා. එසේ කියූ මේ මහලු කාන්තාව මහ පාරේ අයිනක එලූ ඉටි රෙද්දක් උඩ වාඩි වුණේ දිගු සුසුමක් හෙළමින්ය.

අපේ රටේ මහලු මවුපියන් අතර බහුතරයක් හීන දකින්නේ ජීවිතයේ සැ¼දෑ සමයේදී පිනක් දහමක් කරගෙන ජීවත් වන්නටය. එහෙත් ඒ වාසනාව අධර්මිෂ්ඨ පාලකයන් ඔවුන්ට ලබා දෙන්නේ නැත. ලබාදීමට සිතන්නේවත් නැත.

මහලු මවුපියවරුන් ඇරුණුකොට අපේ රටේ ඒ හා සමානව දුක් විඳින්නේ අපේ දරු පරපුරය. ඔවුන්ට දැන් වසර දෙක තුනක සිට හරි හැටි පාසල් අධ්‍යාපනයක් නැත. පාස්කු ප්‍රහාරයෙන් හා කොරෝනා ව්‍යසනයෙන් පසුව ඇතිවූ ඩොලර් අර්බුදයද ව්‍යසනයක් බවට පත්වී ඒ පුංචි උන්ගේ අනාගතයත් සැහැසි ලෙස උදුරාගෙන අඳුරු කොට ඇත.

ඒ අඳුරු වටපිටාව වඩාත් හොඳින් පෙනෙන්නට පටන් ගත්තේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලින් වරක් නිකුත් කෙරුණු වාර්තාවකින් කියැවුණු දේය. එයින් කියැවුණේ අපේ රටේ දරුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් මන්ද පෝෂණයට ගොදුරුවී සිටින බවය. මේ සංකීර්ණ තත්ත්වයට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පිළියම් සොයද්දී තවත් පැත්තකින් පෙනෙන්නට පටන් ගත්තේ පාසල් යන දරු දැරියන් මුහුණ දී සිටින ප්‍රවාහන ගැටලුවය.

වගක් විභාගයක් නැතිව ඇතිවී තිබෙන ප්‍රවාහන ගැටලුවට සාර්ථක විසඳුමක් නොදී පාසල් විවෘත කිරීමෙන් පාසල් දරුවන් පාසල් කරා පැමිණියේ අනතුරුදායක වටපිටාවක් තුළය.

මේ තත්ත්වය වඩාත් හොඳින් පෙනුණේ කැබිතිගොල්ලෑවේදීය. එදින මේ දරුවෝ පාසල් කරා පැමිණියේ ලොරි රථයකය. එසේ පැමිණි ඔවුන්ට අවසානයේදී නතර වීමට සිදුවූවේ රෝහලේය.

“දරුවෝ විශාල ප්‍රමාණයක් ලොරියේ නැඟලා ඉස්කෝලේ ආවා. ඒ බස් නැති නිසා. අන්තිමට ලොරි තට්ටුව 

කඩන් වැටිලා ඒ පුංචි දරුවන්ට තුවාල වුණා. මොකක්දෝ වාසනාවකට ජීවිත හානි සිදුවුණේ නැහැ. මේ පාසලේ ගුරුවරයෙක් අප සමඟ කීවේය.

තවත් අවස්ථාවකදී අප මුහුණුපොතේ දුටුවේ අතිසංවේදී ඡායාරූපයකි. ඒ තාත්තා තෙල් පෝලිමේ ඉන්නා විටදී පාසල් ඇඳුමින් සැරසී ත්‍රීවීලරය තුළ හෝම්වර්ක් කරනා පුංචි දැරියකි. අද අපේ රටේ බොහෝ දරු දැරියන්ගේ ජීවිත ගෙවෙන්නේ එහෙමය.

මේ අර්බුදකාරී වාතාවරණය ඇතිවීමට පෙර අපේ රටේ පාසල් දරු දැරියන්ට ලැබී තිබුණේ ආරක්ෂාකාරී ප්‍රවාහන පහසුකම්ය. ඒ පහසුකම් පිළිබඳව රජයේ අවධානය යොමු වූ අවස්ථාද විය. නමුත් වර්තමානයේදී ඒ ආරක්ෂාව බින්දුවට වැටී තිබුණේ දරුවන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ අල්ප මාත්‍රයක තරම් හැඟීමක් නැති පරිද්දෙන්ය.

“පාසල් නිල ඇඳුමින් සැරසුණු දරුවෝ දැන් ඉස්කෝලේ එන්නේ බස් එකේ වහලෙ උඩ නැඟලා. එක්කෝ පාපුවරුවේ එල්ලිලා.”

ඊයේ පෙරේදා අපි දැක්කා දුම්රියේ වහල උඩ පවා එන දරුවෝ. මේ විදිහට එන දරුවන්ට අපි ඉස්සර හොයලා බලලා අවවාද කළා. දඬුවම් කළා. දැන් කොහොමද එහෙම කරන්නේ? වාහනයට තෙල් නැතිව අද මමත් ආවේ කෝච්චියේ එල්ලිලා. ආවේ නැත්නම් තව ලෙඩක්නේ. කොළඹ ජනප්‍රිය පාසලක උප විදුහල්පතිවරයකු එසේ කීවේ වත්මන් ආණ්ඩුවේ ඔළමොට්ටල දේශපාලනඥයන්ට ‍ෙදාස් කියමිනි.

පාපුවරුවේ එල්ලී අවදානම් ගමන් වාරවල යෙදෙන දරුවන් දෙස අප මීට පෙර බැලුවේ වැරැදි ඇසකිනි. එසේත් නැත්නම් දඩබ්බර නොහොබිනා පුද්ගලයන් දෙස බලන ආකාරයටය. එහෙත් අද අපි මේ දරුවන් හා මිනිසුන් දෙස බලන්නේ ‘අනේ අපොයි‘ කියාය.

ඩොලර් අර්බුදයත් සමඟ කරළියට ආ මේ ප්‍රවාහන ගැටලුව ගැන හා ඊට සාපේක්ෂව ඇතිවන ප්‍රශ්න කන්දරාව ගැන අපට වඩා දැනීමක් හා හැඟීමක් මෙරට පාලනය කරන වගකිව යුතු දේශපාලනඥයන්ට තිබිය යුතුය. එහෙත් ඔවුන් වැඩිදෙනා හැසිරෙන ආකාරය මුග්ධය. බොළඳය.

ඊට හේතුව ඔවුන්ගේ පවුල්වල කිසිවකු තෙල් පෝලිමක ළගින්නේ නැතිකමය. එමෙන්ම ඔවුන්ගේ පවුල්වල කිසිවකු පොදු ප්‍රවාහන පාවිච්චි නොකිරීමය. රටේ ජනතාවට කිසිදු ප්‍රශ්නයක් ගැටලුවක් නැතැයි සිතා පාර්ලිමේන්තුව තුළ විහිළු කතා කියන්නේ ඒ නිසාය.

“ඉස්සර අපේ දරුවෝ ඉස්කෝලේ යන්නේ ත්‍රීවීලර් එකේ. කිලෝමීටරයක් දෙකක් දුර ඉස්කෝලේ තිබුණත් ගියේ එහෙමයි. ඒත් අද ත්‍රීවීලර් එකක් හොයාගන්නත් බැහැ. තිබුණත් කිලෝමීටර් දෙක තුනකට රුපියල් 500ක් විතර ඉල්ලනවා. කොහොමද මෙහෙම සල්ලි දීලා දරුවන්ව පාසල් යවන්නේ. ඒ නිසාම අද අපේ දරුවෝ හුඟාක් අය කිලෝමීටර් ගණන් ඉස්කෝලේ යන්නේ පයින්. පව්! එකේ, දෙකේ, තුනේ පන්තිවල ඉන්න පුංචි එවුනුත් යන්නේ පයින්. ටික දුරක් ගියත් කකුල් රිදෙනවා කියලා අඬනවා.” අම්මා කෙනකු එසේ කීවේ රට විනාශ කළ බංකොලොත් කළ පාලක පක්ෂයට දෙස් දෙවොල් තබමිනි.

පාසල් යන දරුවන් පමණක් නොව දැන් ළදරු පාසල් යන දරු දැරියන් පවා පැමිණෙන්නේ පයින්. එක්කෝ පාපැදියේ නැඟී තාත්තා සමඟිනි. ඒ ගමන ඇත්තටම පහසු නැත. එමෙන්ම මානසික සහනයක්ද නැත.

“දරුවා අහනවා ඇයි තාත්තේ කාර් එක තියලා බයිසිකලේ පැදගෙන යන්නේ කියලා. අපට තෙල් දෙන්නේ නැත්තේ ඇයි කියලත් අහනවා. අපි කොහොමද මේ පුංචි දරුවන්ට ඒවා කියාදෙන්නේ? අපිව පාරට ඇද දැමූ මේ දේශපාලනඥයන්ට දරු පරපුරත් වෛර කරනවා මහත්තයෝ. මුන්ගේ පරම්පරා ගාණකට ආපසු ඔළුව නම් උස්සන්න ලැබෙන්නේ නැහැ” රක්ෂණ සමාගමක සේවය කරන තරුණ තාත්තා කෙනකු එසේ කීවේ දැඩි කේන්තියකිනි.

මේ ආකාරයට තවත් සංවේදී අවස්ථාවක් අප දුටුවේ කොළඹ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය අසලදීය. මැදිවියේ පසු වූ තාත්තා කෙනකු පිටුපස ඇවිද ආවේ වයස අවුරුදු 13ක පමණ දැරියකි. ඇය අඩි කිහිපයක් ඉදිරියට පැමිණ ඉදිරියට නැමී දණහිස් අල්ලාගෙන මොහොතක් සිටියාය.

“යමු… දූ…. තව ටිකයිනේ” ඇගේ තාත්තා හිමිහිට කියනු අපට ඇසිණි.

“අර දරුවට ඇවිදින්න අමාරුයි නේද?” මම ඇගේ පියාගෙන් ඇසුවෙමි.

“ඔව්, මහත්තයා අද එයාගේ ක්ලිනික් දවස. ඇස් රෝහලට යනවා. බස් නැති නිසා ගංගාරාම පන්සල ළඟ ඉඳලා අපි පයින් එනවා.” ඔහු කීවේය.

මේ දැරිය සහ ඇගේ පියා කොළඹට එන්නේ අම්බලන්ගොඩ සිටය. එසේ පැමිණෙන ඔවුන් ගංගාරාම පන්සල අසලින් බැස තවත් බස් තිබේ.

“බස් නැති නිසා ත්‍රීවීලරයක් ගන්න බැලුවා. ගිනි ගණන්. දවස් තුනක් පෝලිමේ ඉඳලායි තෙල් ගැහුවේ. ඒ නිසා වෙනදා ගාණට දුවන්න බැහැ කියලා යන්න ගියා. මොනවා කරන්නද ඉතින් පයින්ම ආවා” දැරියගේ තාත්තා කීවේය.

රට බංකොළොත් යැයි පවසන කිසිදු පුද්ගලයකුට මේ ව්‍යසනය ගැන අබමල් රේණුවක තරම් හැඟීමත් දැනීමත් නැත. ඒ ඔවුන්ට පහළ පන්තියේ දුක් අ‍ෙ¼දා්නා ගැන අංශු මාත්‍රයක තරම් හැඟීමක් දැනීමක් නැති නිසාය. ඔවුන් හැමවිටම මේ සියලු ගැටලු දෙස බලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා දෙස බලන ආකාරයටය. එසේත් නැත්නම් කෙස් ගහ කොස් ගහ කරමින් විපක්ෂ බලවේගවලට ඇඟිල්ල දිගු කරමින්ය. එහෙත් ඇත්ත කතාව සැබෑ ලෙසින්ම ඔවුන්ට දැනෙන්ට හැඟෙන්නට පටන් ගන්නේ කතිරයේ දවස රජ වෙන දවසටය. ඒ දවස වැඩි අෑතක නැත. එහෙත් ඒ වනතුරු මහලු අයගේ සේම හය හතර නොතේරෙන දරු පැටියාගේ සිට පාසල් දරු දැරියන් දක්වා ඒ පරපුරේ හෙට දවස කෙසේ කොහොම සැකසේවිදැයි කිව නොහැකිය.

ඒ ඇත්ත වඩාත් සනාථ වී පෙනුණේ මීට දින කිහිපයකට පෙර කුරුණෑගල බස් නැවතුම්පොළේදී සිදුවූ අකාරුණික සිදුවීමක් නිසාය. එදා අලුත උපන් දරුවා ඇකයේ හොවා ගනිමින් තරුණ මවක් පෝලිමේ බොහෝ වේලාවක් තිස්සේ රැඳී සිටියේ බස් රථයක් එනතුරුය. ඇයට නිවෙස බලා යෑමට වෙනත් ප්‍රවාහන පහසුකමක් ලබාගැනීමට තරම් පරිසරය සකස් වී තිබුණේ නැත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ