ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන ගැනීම ගැන අමෙරිකාවේ ස්ථාවරය මෙන්න

1
3849

රුසියානු ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් ගෝලීය දක්ෂිණ රටවලට (global south countries) එරෙහිව එක්සත් ජනපදය සම්බාධක පනවා නැතැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චං පවසයි.

ඇය මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (ජූලි 7) මෙරට ජනමාධ්‍යවේදීන් සමග පැවති හමුවකදී ය.

රුසියාවෙන් එක්සත් ජනපදයට ඉන්ධන ආනයනය කිරීමට එරෙහිව පමණක් ඔවුන් සම්බාධක පනවා ඇති බව ඇය එහිදී ප්‍රකාශ කර ඇත.

ඇය පෙන්වා දී ඇත්තේ, අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කෙසේ පැවැත්විය යුතු ද යන්න ශ්‍රී ලංකා රජය තීරණය කළ යුතු බව ය.

ශ්‍රී ලංකාවේ ඉන්ධන අවශ්‍යතා පිළිබඳව එක්සත් ජනපදය දැනුවත් බව ත්, එබැවින් ශ්‍රී ලංකා රජයට තම අවශ්‍යතා සපුරාලීම සඳහා ඕනෑ ම මූලාශ්‍රයකට යා හැකි බව ත් ඇය වැඩිදුරට ත් සඳහන් කර ඇත.

ගෝලීය දක්ෂිණ රටවල් යනු, යනු ආර්ථිකය තවමත් සම්පූර්ණයෙන් සංවර්ධනය වී නොමැති, අඩු ඒක පුද්ගල ආදායම, අධික විරැකියාව සහ වටිනා ප්‍රාග්ධන හිඟය වැනි අභියෝගවලට මුහුණ දෙන රටවල් විස්තර කිරීමට භාවිත කරන යෙදුමකි.

එමෙන් ම, එම රටවල් අස්ථායී ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති, ගෝලීය උතුරු රටවල් (විශේෂයෙන් යුරෝපීය රටවල්) විසින් ඓතිහාසිකව නිතර යටත් විජිතකරණයට ලක් කරන ලද රටවල් වේ.

ශ්‍රී ලංකාව ද එම රටවල් අතර වේ.

මේ අතර, ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රුසියානු තෙල් සමාගම් නියෝජිතයන් දෙදෙනෙකු ඊයේ (ජූලි 7) උදෑසන මෙරටට පැමිණ තිබිණි.

1 COMMENT

Comments are closed.