“ජනපති ගෝඨාත් අගමැති රනිලුත් ජනතා විරෝධය බුද්ධිමත්ව තේරුම්ගෙන ඉතා ඉක්මනින් ඉල්ලා අස්විය යුතුයි”

0
184

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එල්ල වන ජනතා විරෝධය බුද්ධිමත්ව තේරුම් ගෙන ඔවුන් දෙදෙනා ඉතා ඉක්මනින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වී සර්ව පාක්‍ෂික අන්තර්වාර පාලනයක් සඳහා මග සලසා දිය යුතු බව මහජන සභාවේ සම සභාපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (ජූලි 6) පැවසූහ.

තමන්ගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ සහය නොලැබෙන ජනාධිපතිවරයෙකු ද ජනතා අප්‍රසාදයට ලක්වූ අසාර්ථක අගමැතිවරයෙකු ද රටේ සිටීමෙන් වත්මන් අර්බුදය තව ත් උග්‍ර වන බව උන්වහන්සේ සඳහන් කළහ.

ගින්නක් ඇවිලෙන්නා සේ සමස්ත රට පුරා ම ජනතාව අතරින් ඉදිරිපත් වූ “ගෝඨා ගෝ” සංකල්පය හෙවත් විධානය ගෝඨාභය රාජපක්‍ෂ ඉදිරිපිටදී ම පාර්ලිමේන්තුවේදී විපක්‍ෂය ඒකාබද්ධව පෙරේදා හඬ නගා උච්චාරණය කරමින් ඔහුට පසුබසින්නට සැලැස්වීම ගැන විපක්‍ෂයට ස්තූතිවන්ත වන බව ද එහිමියෝ කීහ.

රාජගිරියේ ජයශේඛරාමයේදී සර්ව ආගමික නායකයන් එක්ව පැවැත්වූ ‘මහජන සභාවේ’ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

තමන්ගේ පාක්‍ෂිකයන්ගෙන් ශක්තිමත් ප්‍රතිචාරයක් නොලැබීම තුළ මින් ඉදිරියට කාගේ පිහිටෙන් කාගේ බලයෙන් ජනාධිපති තනතුරේ රැඳී සිටින්නේ දැයි කියා ගෝඨාභය රාජපක්‍ෂ තේරුම් ගතයුතු බව ද උන්වහන්සේ සඳහන් කළහ.

විපක්‍ෂය ඒකාබද්ධව “ගෝඨා ගෝ” යනුවෙන් හඬ නඟන විට ජනාධිපතිවරයාගේ පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පවා ඉදිරිපත් නොවීම විශේෂ දෙයක් බව ත් තමන්ගේ පාක්‍ෂිකයන් වෙතින් නිකුත් වූ නිහඬ ප්‍රකාශනය බුද්ධිමත්ව තේරුම් ගෙන ඉතා ඉක්මනින් සිය තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බව ත් සෝභිත හිමියෝ අවධාරණය කළහ.

මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගේ අප්‍රසාදයට ලක්වූ අසාර්ථක පුද්ගලයෙකු බැවින් මුදල් අමාත්‍ය ධූරයෙන් පමණක් නොව අග්‍රාමාත්‍ය ධූරය ඇතුළු සියලු තනතුරුවලින් ඔහු ඉල්ලා අස්විය යුතු බව ද එහිමියෝ පැවසූහ.

ඔහුගේ සාර්ථකභාවය ගැන කිසිදු පෙර ලකුණක් නොමැති බව කී උන්වහන්සේ වත්මන් අර්බුදය වඩ වඩාත් තීව්‍ර වන්නේ මුදල් අමාත්‍යංශය ගන්නා තීන්දු තීරණ හා අධිකාරි බලය ක්‍රියාත්මක නොවීම නිසා බව කීහ.

ජනමතය රැක ගැනීමට නොහැකි රනිල් වික්‍රමසිංහ මහතා දක්‍ෂ නායකයෙකු නොවන බව ත් ඉතා ඉක්මනින් ම ඔහුගේ ඉල්ලා අස්වීම සිදුවිය යුතු බවත් සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.