SPECIAL: ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බසී (PHOTOS)

0
545

ඓතිහාසික ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බැසීමට පටන් ගෙන ඇතැයි අප වාර්තාකරු පවසයි.

කොඩිගල ආසන්නයේ කොටු බැම්මේ කොටසක් මෙසේ ගිලා බැසීමට පටන් ගෙන ඇති අතර සිද්ධිය වාර්තා වීමත් සමග ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණිම වළක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක මහතාගෙන් විමසූ විට ප්‍රකාශ කර ඇත්තේ, කොටු බැම්මේ ගිලා බැසීමේ අවදානමට ලක්ව ඇති ස්ථානය හඳුනාගෙන ඇති බව ත් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමග එක්ව කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව ත් ය.

එතෙක් එම ස්ථානයට ගමන් කිරීමෙන් වළකින ලෙස මහ ජනතාව දැනුම්වත් කර ඇති බව ද සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කොටු පවුරේ අප ජලය පිටවන පල්දොරු පද්ධතියක් පිහිටි ස්ථානයට උඩින් ම ගිලා බැසීම සිදුව ඇති බව ත් වාරකන් කාලය හේතුවෙන් පසුගිය දිනවල මුහුදු රල සැර වීම හේතුවෙන් මෙය සිදුවන්නට ඇති බව ත් ඔහු සඳහන් කර ඇත.

අඩි තුනක පමණ විශ්කම්භයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි විස්සකට වඩා අධික දෝනාවක් හෑරී ඇතැයි අප වාර්තාකරු වැඩිදුරට ත් පැවසීය.

  • ෆර්හාන් නිසාම්දින් – ගාල්ල, එස්. දීයගහගේ – අහංගම