දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකිනු

0
27

‘දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරකින්න’ යන්න තේමා කොට ගනිමින් ගුරු, විදුහල්පති හා මවුපියන් එක්ව අද (07දා) විරෝධතා පා ගමනක් සංවිධාන කොට ඇත.

දිනෙන් දින අඩාල වන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට විකල්ප ක්‍රමවේදයක් හෝ ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව අපොහොසත් බවත් එයට විරෝධය පළ කරමින් මෙසේ ගුරුවරු, විදුහල්පතිවරු හා මවුපියන්ද ඒකාබද්ධව විරෝධතා පා ගමනක යෙදෙන බවත් ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය බරපතළ ලෙස උල්ලංඝනය වන බවට ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කළේය.

තෙල් නැව් පැමිණෙන බවට අනාවැකි පැවැසුවද සැබැවින්ම තෙල් නැව් පැමිණෙන දිනයක් නොමැති නිසා දරුවන්ට පාසල් නොයා නිවෙසටම වී සිටීමට සිදුව ඇතැයිද හෙතෙම ‘මව්බිම’ට කීය.

පාසල් දරුවන්ට අදාළ ශේ‍ර්ණිවල විෂය මාලාව පාසල් පැවැත්වෙන දින ගණනට සාපේක්ෂව සකස් කෙරෙන නිසා මේ අයුරින් දිගින් දිගටම පාසල් නොපැවැත්වීම විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා ගැටලු ඇති කෙරෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අඩාල වූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පාලකයන්ගේ නොමනාකම් හේතුවෙන්ද අඩාල වීමට ඉඩ දී බලා සිටින බවට ඔහු චෝදනා කළේය.

අඩු තරමේ දරුවන්ට අධ්‍යාපනය නිසි අයුරින් ඉටු කර ගැනීමට හැකි අයුරේ වැඩපිළිවෙළක්වත් ක්‍රියාවට නැංවීමට බලධාරීන්ට නොහැකි වී ඇතැයිද ජෝසප් ස්ටාලින් පැවැසීය.

සවනි ශේශාධි