ආණ්ඩුව ගෙදර යවන අන්තරේ ‘නොනිදන රාත්‍රිය’ හෙට කොළඹදී – වසන්ත මුදලිගෙ

0
37

ජනපති ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හෙට (08දා) කොළඹදී විරෝධතා පාගමනක් සංවිධාන කොට තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය ඒකාබද්ධව සියලුම විශ්වවිද්‍යාල සිසුන්ගේ හා භික්ෂුන් වහන්සේගේ සහභාගිත්වයෙන් හෙට (08දා) කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වන බව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ‘මව්බිම’ට පැවැසීය.

ගෝල්ෆේස් අරගලට මාස තුනක් සපිරෙන ජූලි මස 9 වැනිදාට මුළු රටම එක්ව විරෝධතා දිනයක් ප්‍රකාශයක් පත් කර ඇති බවත් එයට සමගාමීව ජූලි 9 වැනිදාට ශක්තියක් වීමට සියලුම විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ව හෙට (08දා) දිනයේදී කොළඹට පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය.

මාස තුනක් මුළුල්ලේ මුළු රටම ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කළද රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට පත්කොටගෙන ඔහුට මුවා වී බලය රැක ගැනීමට ජනාධිපතිවරයා උත්සාහ කරන බවට වසන්ත මුදලිගේ චෝදනා නැඟීය.

තෙල් පෝලිම්වල මිනිසුන් මැරී වැටෙන මේ මොහොතක තුළ ජනතාව මුහුණ දෙන්නේ ජීවත් වීමේ අරගලයට පමණක්ම නිසා ජන ජීවිත පීඩාවට ඇද දැමූ ගෝඨා – රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නා දමා ජීවිතය වෙනුවෙන් සටන් වැදිය යුතු යැයිද හෙතෙම පැවැසීය.

ඒ වෙනුවෙන් සියලු ජනතාවට අන්තරේ හා එක්වන ලෙස ආරාධනා කරන බවද ඔහු කීය.

“ආණ්ඩුව පන්නමු – ක්‍රමය පෙරළමු, පන්නන තුරු සටන් වදිමු, රොද බදිමු – පන්නමු” යන්න තේමා කොටගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති මේ විරෝධතාව ‘නොනිදන රාත්‍රිය’ ලෙසද නම් කර ඇත.

ගෝඨා – රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු, තවත් ණය එපා – හොරාකාපු සල්ලි දියව්, විධායක ජනපති ක්‍රමය අහෝසි කරනු, පාසල් – සරසවි වහා විවෘත කිරීමට වැඩපිළිවෙළක් සකසනු,  ජීවන බර දරන්න බෑ ජනතාවට සහන දියව්” යන සටන් පාඨ මුල් කොටගෙන මේ විරෝධතාව පැවැත්වේ.

සවනි ශේශාධි