“රෝහල් සායනවල ඖෂධ නිකුත් කිරීම සීමා කරලා: රෝහල් පද්ධතිය ත් අකර්මණ්‍ය වීමේ අවදානමක”

0
100

ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

කොළඹගේ මහතා සඳහන් කළේ, රෝහල් කාර්ය මණ්ඩලයට ඉන්ධන ලබා දීමේ වැඩපිළිවෙළ තවදුරට ත් ක්‍රමවත් විය යුතු බව ය.

මෙය සැලසුම් සහගතව සහ සංවිධානාත්මකව සිදු නොකළහොත් ඉදිරියේදී එන අර්බුද හමුවේ සෞඛ්‍ය සේවය පවත්වා ගෙන යාම අසීරු බව ඔහු පැවසීය.

මේ අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ඖෂධවල මිල ඉහළ යාම, ඖෂධ තොග හිඟ වීම හේතුවෙන් ජනතාව අසීරුතාවයට පත් වන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු වැඩිදුරට ත් කියා සිටියේ රෝහල් සායනවල ඖෂධ නිකුත් කිරීම සීමා කර ඇති බව ය.

“ඉස්සර මාසයකට නිකුත් කළ ඖෂධ දැන් සති දෙකකට සීමා වෙලා තියෙනවා. දැන් සති දෙකකට නිකුත් කරපු ඖෂධ දැන් සතියකට වගේ කාලයකට සීමා වෙලා තියෙනවා. බොහෝ රෝහල්වල දැනට තිබෙන ඖෂධ වර්ග හිඟකම හින්දා ඖෂධ පිටින් මිලදී ගන්න කියලා වෛද්‍යවරුන්ට ලියලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි මේ ඖෂධ සැපයුම්කරුවන්ට ඇතිවෙලා තියෙන මූල්‍යමය ගැටලු, ප්‍රවාහන ගැටලු, ඇණවුම් කිරීමේ ගැටලු, ජත්‍යාන්තර වශයෙන් ඇතිවෙලා තිබෙන මේ ඩොලර් හිඟය වගේ ප්‍රශ්න නිසා ඔවුන් මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වෙලා තියෙනවා. සමහර අය මේ ක්ෂේත්‍රයේ ඖෂධ ගෙන්වීම කියන කාරණාව සම්පුර්ණයෙන් ම බැහැර කරලා තියෙනවා. ඒ හරහා රටේ ඖෂධ හිඟයක් මේ වන විට ප්‍රධාන වශයෙන් පැවතිලා තියෙනවා.”