“අද බස් දුවන්නේ 2%යි”

0
141

බස් රථ අද (ජූලි 6) සිට ධාවනය වනු ඇත්තේ, සියයට දෙකත් තුනත් අතර සංඛ්‍යාවක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ‘මව්බිම’ට පැවසීය.

ඉන්ධන ලබා ගැනීමට දින පහකට ආසන්න කාලයක් පෝලිමක රැඳී සිටි විට ලීටර් 40ක ප්‍රමාණයක් ලබා දෙන නමුත් එය කිසි විටක වැඩි මිලට විකිණිය නොහැකි බව ත් එවැනි දේ සිදු කිරීමෙන් කිසිදු ලාභයක් නොමැති බව ත් ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ ය.

ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා දීම නිසි ආකාරයෙන් සිදු නොකිරීම හා ඉන්ධන නොමැති වීම හේතුවෙන් ඊයේ (ජූලි 5) දිනයේ ධාවනයට එකතු කරන ලද්දේ බස් රථ පන්සීයක් බවත් අද (ජූලි 6) දිනයේ එම සංඛ්‍යාවත් ධාවනය නොවනු ඇති බව හෙතෙම කීය.

ප්‍රවාහන අමාත්‍යංශය පවසන පරිදි ඩිපෝ මගින් ලබා දෙන ඉන්ධන විකිණීමට නොව ධාවනයටවත් ප්‍රමාණවත් නොවන අතර බස් රථ කර්මාන්තයේ නියැළෙන්නන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ඔහු පැවැසුවේ ය.

ඉන්ධන නොමැතිව බස් රථ ධාවනයට එක් කිරීමට නොහැකිව සිටින අවස්ථාවක බස් සංගම් රජය විසින් ලබා දෙන ඉන්ධන වැඩි මිලට විකුණන බවත් මගී ප්‍රවාහනයේ නොයෙදෙන බවත් පවසා ඉන්ධන අර්බුදයට විසඳුමක් ලබා දිය නොහැකි බව ඔහු සඳහන් කළේ ය.