IMF සාකච්ඡා අවසන් කර දූත පිරිස නික්ම යයි

0
15

පීටර් බෘෘවර් (Peter Breuer) සහ මසහිරෝ නොසාකි (Masahiro Nizaki) යන මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් ජා.මූ. අරමුදලේ දුත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ජා.මූ. අරමුදලේ සහාය ලබාදීමට සහ බලධාරීන්ගේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබද සාකච්ඡා කිරීමට 2022 වසරේ ජුනි 20 සිට 30 දක්වා කාලය තුළදී කොළඹට පැමිණියහ. ජා.මූ. අරමුදලෙහි ආසියා සහ පැසිෆික් කලාපීය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ අෑන්-මරී ගුල්ඩේ-වුල්ෆ් (Anne-Marie Gulde-Wolf) මහත්මිය ප්‍රතිපත්ති සාකච්ඡාවලට සහභාගී වූවාය.

මෙම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් හමු විය.

දූත මණ්ඩලයේ සංචාරය අවසානයේදී බෘෘවර් සහ නොසාකි මහත්වරුන් මෙලෙස අදහස් ප්‍රකාශ කළේය.

“ශ්‍රී  ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටී. ශ්‍රී  ලංකා ආර්ථිකය 2022 වසරේදී සැලකිය යුතු ලෙස සංකෝචනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර උද්ධමනය වැඩි මට්ටමක පවතින අතර එය ඉහළ යමින් පවතී. ජාත්‍යන්තර සංචිත ඉතා පහළ මට්ටමක පැවැතීම නිසා අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා අහිතකර බලපෑම් සිදුකර ඇත. රටට පැමිණ සිදුකළ මෙම සංචාරයේදී, නිලධාරි කණ්ඩායම ශ්‍රී  ලංකාවේ ජනතාව දැනට මුහුණ පා ඇති දුෂ්කරතා නිරීක්ෂණය කළ අතර විශේෂයෙන් දිළිඳු සහ අවදානමට ලක්විය හැකි ජනතාව මෙම අර්බුදයෙන් අසමාන ලෙස බලපෑමකට ලක්වී ඇති බවත් නිරීක්ෂණය කරන ලදී. ජා.මු. අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී  ලංකාවට සහාය වීමට මෙම දුෂ්කර කාලයේදී අපේ කැපවීම අපි නැවත තහවුරු කරන්නෙමු.

අප්‍රේල් මස මුල සිට බලධාරීන් ක්‍රියාත්මක කළ මුදල් හා රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සහ අනෙකුත් ක්‍රියාමාර්ග මෙම අර්බුදයට පිළියම් ලෙස තැබූ වැදගත් පළමු පියවරයන් විය. නිලධාරි කණ්ඩායම ශ්‍රී  ලංකා බලධාරීන් සමඟ ජා.මු. අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ආධාරයෙන් සිදු කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සාර්ථක සහ ඵලදායි සාකච්ඡා සිදු කරන ලදී. නිලධාරි කණ්ඩායම සහ බලධාරීන් සාර්ව ආර්ථික සහ ව්‍යුහාත්මක ප්‍රතිපත්ති පැකේජය තීරණය කිරීම පිළිබඳ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගත්තේය.

විස්තීර් ණය පහසුකම් සම්බන්ධයෙන් නුදුරේදීම නිලධාරි මට්ටමේ එකඟතාවකට එළැඹීම අරමුණු කර ගනිමින් සාකච්ඡා ඉදිරියේදී මාර්ගගත ක්‍රමය යටතේ අඛණ්ඩව සිදු කරනු ඇත. රජයේ ණය තිරසර නොවන බවට තක්සේරු කර ඇති නිසා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම සඳහා ණය තිරසරභාවය නැවත ස්ථාපිත කර ගැනීමට ශ්‍රී  ලංකාවේ ණය හිමියන්ගෙන් ප්‍රමාණවත් මුල්‍යනයන් පිළිබඳ සහතිකයන් අවශ්‍ය වේ.

නුවන් බඹරැන්දගේ