“ඔමික්‍රෝන් නව ප්‍රභේදය පැතිරුණොත් යළි මුඛ ආවරණ අනිවාර්යයි” – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

0
193

යළි ඔමික්‍රෝන් නව ප්‍රභේදයක් පැතිර යාමේ අවදානමක් මතුවුව හොත් මුව ආවරණ අනිවාර්ය කිරීමට සිදු වනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

දැනට සිදුව ඇත්තේ, මුව ආවරණ ඉවත් කිරීමක් නොව මුව ආවරණ අනිවාර්ය කිරීම ඉවත් කිරීම පමණක් යැයි ද ඒ අනුව කැමති අයකුට මුව ආවරණ භාවිත කිරීමේ තහනමක් නැතැයි ද හෙතෙම සඳහන් කළේ ය.

මුව ආවරණ අනිවාර්ය කිරීම ඉවත් කළේ, විශේෂඥ කමිටුවේ නිර්දේශ මත බව ත් එය සිදු කළේ  එම කාලයේ තිබූ රෝග ව්‍යාප්තිය අඩු වීම, මරණ සංඛ්‍යාව ආදී සංඛ්‍යා ලේඛන අනුව බව ත් ඔහු කියා සිටියේ ය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (ජූලි 5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරට ත් අදහස් දැක්වූ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ, නව ප්‍රභේදයකින් ඇතිවන අවදානම අඩු කර ගැනීමට කොවිඩ් එන්නතේ සිව් වන මාත්‍රාව ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ය.

එන්නත ලබා ගැනීමෙන් රෝගය වැළඳුණත් මරණයෙන් වැළකිය හැකි වන බැවින් හැකි ඉක්මනින් ළඟ ම එන්නත් මධ්‍යස්ථානයෙන් සිව් වන මාත්‍රාව ලබා ගන්නැයි ද හෙතෙම ඉල්ලා සිටියේ ය.

එම මාධ්‍ය හමුව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග අංශයේ ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටියේ, ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පහව ගොස් නැති බව ය.

මේ වන විට ගෝලීය වශයෙන් නව ප්‍රභේදය වැළඳුණු පිරිස වැඩි වෙමින් පවතිතැයි වාර්තා වන බව ද වෛද්‍ය ගිනිගේ කියා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික එන්නත්කරණය සියයට සියයක් සාර්ථක නමුත් ප්‍රතිශක්තිය ඒකාකාරීව නොතිබෙන බැවින්  පළමු, දෙවන එන්නත් ලබා ගෙන වසරකට වඩා ගත වී ඇත්නම් බූස්ටර් එන්නතක් ලබාගත යුතු බව ත් හෙතෙම කියා සිටියේ ය.

තුන්වන මාත්‍රාව ලබා ගෙන ඇත්තේ, මිලියන අටක් පමණ පිරිසක් බව ත් එය ලබා නොගත් පිරිස ඉක්මනින් තෙවන මාත්‍රාව ලබාගත යුතු බව ත් හෙතෙම කියා සිටියේ ය.

”අපේ පාලනයෙන් බැහැරවයි මේ රෝගය අලුත් වෙවී එන එක පවතින්නේ. නමුත් එන්නත්කරණයේ ප්‍රතිඵල අපි අත් විඳලා තියෙනවා. අපේ රටේ මරණවලින් සියයට 70ක් විතර හැටට වැඩි හා රෝගවලින් පෙළෙන අය. ඒ නිසා මේ කණ්ඩායම් හැකි ඉක්මනින් සිවු වන මාත්‍රාව ගත යුතුයි” යැයි ද ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අනුක ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළේ, පරිසරයට අනුවර්තනය වන නිසා නව ප්‍රභේද හැදෙන බව යි.

එය වේගයෙන් පැතිර යන බව ත් සමහර රටවලට බලපෑම් ඇති කරන නමුත් සමහර ඒවාට නැති බව ත් කී ඇය එය තීරණය වන්නේ, රටේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ මත බව ත් ඇය කියා සිටියා ය.

ලංකාවේ සමස්ත ජනගහනයෙන් තුන්වැනි මාත්‍රා ලබාගෙන ඇත්තේ සියයට 37.12ක් බව ත් අනෙක් ආසියාතික රටවල් 70ක් පමණ එය ලබාගෙන ඇති බව ත් ඇය කියා සිටියා ය.

නිදන්ගත රෝග ඇති අයට අලුත් එන ඔමික්‍රෝන්වලින් බලපෑම් ඇති බව ත් ලංකාව තියෙන තත්ත්වයත් සමග රෝහල්ගත වීම සුළු වශයෙන් වැඩි වුණත් මේ වෙලාවේ දරන්න බැරිවිය හැකි බව ද ඇය පෙන්වා දුන්නා ය.