රට හදන්න ගතවන කාලය ගැන රනිල්ගෙන් අලුත් කතාවක් (VIDEO)

0
183

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට තමාට හැකි යැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අල් ජසීරා පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, එසේ වුව ද ආර්ථික ස්ථාවරත්වය පැමිණීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බව ය.

2023 වසර අසීරු වනු ඇති බව ත් 2024 වසර වන විට එම තත්ත්වය සුබවාදී වනු ඇති බව ත් ඔහු එහිදී සඳහන් කර තිබේ.

“ආර්ථිකය වෙනස් කිරීමට මට හැකි බව මට විශ්වාසයි”, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

“අපි ඉන්ධන මිල දී ගන්නේ එක්කෝ ඉන්දියානු ණය මාර්ග භාවිතා කර හෝ ප්‍රේෂණ වලින් ලැබෙන විදේශ විනිමය භාවිතා කරමිනි. එය [ප්‍රේෂණ] කුඩා මුදලක්. සමහර විට අපට ඩොලර් බිලියනයක් හෝ බිලියන එකහමාරක් ලැබේ. අපි ණය හිමියන්ගෙන් ලබාගත් දේවලින් ඉතිරි සංචිත දැනටමත් අවසන් වෙලා.”

පවතින තත්ත්වය ආර්ථිකයට විශාල පසුබෑමක් සහ ජනතාවට බොහෝ දුෂ්කරතා නිර්මාණය කර ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඉදිරි දින කිහිපය තුළ ගෑස් ලබා ගැනීමට මෙන් ම අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී සඳහන් කර ඇත.

“ප්‍රශ්නේ තියෙන්නේ පෙට්‍රල්… ඒකට ටිකක් කල් යයි.”

අග්‍රාමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමින් එකඟතාවකට පැමිණ ඇති බව ත් එය ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය බව ත් ය.

බොහෝ විට අගෝස්තු මාසයේදී අතුරු අයවැයක් ගෙන ඒමට තම රජය සැලසුම් කරමින් සිටින බව ද අගමැතිවරයා එහිදී සඳහන් කර තිබේ.

වත්මන් පාලනයට එරෙහිව ගොඩ නැගී ඇති ජනතා අරගලය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා එහිදී අදහස් පළ කර ඇත.

“විරෝධතාකරුවන්ට බොහෝ ඉල්ලීම් ඇතැයි මම නොසිතමි. ඔවුන්ට අවශ්‍ය වන්නේ වෙනසක් පමණයි. එය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක් නොවේ. පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නේ කොහොම ද?

තරුණයෝ… පවතින ක්‍රමය මගින් තමන්ව අතහැර දමා ඇති බව ඔවුන්ට හැඟෙනව. ඒක ඔවුන් ඉදිරිපත් කර ඇති වලංගු කරුණක්. පක්ෂ විවෘත විය යුතුයි.”

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු ව්‍යුහය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් යෝජනා කිහිපයක් ඉදිරිපත් කර එය හිටපු කතානායක කරු ජයසූරිය මහතාට යොමු කර ඇති බව ය.

තම යෝජනා සහ එම වාර්තාව බොහෝ විට බදාදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

බටහිර රටවල් සමඟ මනා සබඳතා පවත්වන වික්‍රමසිංහ මහතා යුරෝපා සංගමයේ සාමාජික රටවල් ද ඇතුළුව ඉන්දියාව, චීනය, ජපානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු විවිධ රටවල් සමූහයක සහය ලබා ගැනීමට උත්සාහ කළ බව අල් ජසීරා පුවත් සේවය සමග ප්‍රකාශ කර තිබේ.

“ප්‍රධාන රටවල් වන්නේ ජපානය, ඉන්දියාව සහ චීනය යි. ටෝකියෝව පරිත්‍යාගශීලීන්ගේ සමුළුවක් සඳහා රැස්වීම් ස්ථානයක් ලෙස තබා ගැනීමට ජපානය කැමැත්ත පළ කර කරලා තියෙනවා,” ඔහු ප්‍රකාශ කර ඇත.

“සුබසාධනය සඳහා අතුරු අයවැයෙන් රුපියල් බිලියන 200ක් (ඩොලර් මිලියන 560ක්) වෙන් කිරීමට අපි සැලසුම් කරනවා. අපි දැනටමත් මුදල් වෙන් කරලා තියෙන්නේ. අප සැලසුම් කරන ආහාර වැඩසටහන සමග එය ප්‍රමාණවත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි,” අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

“කවුරුවත් බඩගින්නේ ඉන්නවට මම කැමති නැහැ. මිනිසුන් දැනටමත් කොළඹ නගරයේ ප්‍රජා මුළුතැන්ගෙයි කිහිපයක් ආරම්භ කර ඇති අතර මෙය ව්‍යාප්ත විය හැකයි. නමුත් කිසිවෙකු කුසගින්නේ නොසිටින්න අපි පියවර ගන්නවා.”

අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, 2023 වසරේ සිට ශ්‍රී ලංකාව ආහාර අතින් ස්වයංපෝෂිත කිරීමට තමා සැලසුම් කර ඇති බව ය.

“අපි ප්‍රමාණවත් අරමුදල් ලබා ගැනීමට සියලු කටයුතු කරමින් සිටිමු. ඒ අනුව අපට ඔක්තෝබර්-නොවැම්බර් සිට 2023 ජනවාරි-පෙබරවාරි පමණ දක්වා ඊළඟ කන්න ආරම්භ කළ හැකිය. අපට ඩොලර් මිලියන 500-600ක් පමණ අවශ්‍ය වේවි. පොහොර, බීජ සහ අනෙකුත් රසායනික ද්‍රව්‍ය ලබා ගත් පසු, නියඟයක් නොමැති නම්, 2023 සිට අපි ආහාරවලින් ස්වයංපෝෂිත වෙමු.”