“ඉන්ධන අර්බුදය නිසා තේ කර්මාන්තය ත් කඩා වැටීමේ අවදානමක”

0
105

තේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා නොදුනහොත් තේ ආර්ථිකය තවදුරට ත් කඩා වැටීමේ අවදානමක් මතු වී ඇතැයි වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරේ මහතා පවසයි.

ඊයේ (ජූලි 5) පස්වරුවේ තලවකැලේ ප්‍රදේශයේදී මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දළු ප්‍රවාහනයට ත්, තේ කුඩු නිෂ්පාදනයට ත්, තේ වතු පාලනය කිරීමට ත් දිනකට ඩීසල් සහ පෙට්‍රල් විශාල වශයෙන් අවශ්‍ය බව ය.

විදුලි කප්පාදුවත් සමග ඉන්ධන විශාල වශයෙන් අවශ්‍ය බව ත්, තේ කුඩු නිෂ්පාදනය සඳහා දර ප්‍රවාහනය සහ නිෂ්පාදනය කරනු ලබන තේ කුඩු තේ වෙන්දේසිය දක්වා ප්‍රවාහනය කිරීමට පවත්නා තත්ත්වය මත ප්‍රවාහනය සේවා පවත්වාගෙන යන පිරිස් වෙත ඩීසල් ලබා දීමට සිදු වී ඇති බව ද ඔහු පැවසීය.

තේ කර්මාන්තයේ ඍජුව ම සහ වක්‍රාකාරයෙන් ලක්ෂ 10 ආසන්න පිරිසක් රැකියාවල නිරතව සිටින බව ත්, තේ ආර්ථිකය කඩා වැටුණහොත් මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් නතර වන බව ත් ඔහු සඳහන් කළේ ය.

තව ද එම ලක්ෂ 10 පිරිසකගේ රැකියාවලට ගැටලුවක් මතුවන බව ද රොෂාන් රාජදොරේ මහතා පැවසීය.

තේ මිල දී ගන්නා රටවල්වල අවශ්‍යතාවට සරිලන තේ සැපයුමක් මෙරටින් සිදු කිරීමට නොහැකි වුවහොත් එම රටවල් ඉන්දියාවෙන් සහ කෙන්යාව වැනි රටවල්වලින් තේ මිල දී ගැනීමට කටයුතු කරන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

තේ වතු ආශ්‍රිතව නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් තේ වතුවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට යාමේදී පෝලිම්වල රැඳී සිටින අය එයට විරුද්ධ වන නිසා තේ වතුවලට කිසිසේත් ඉන්ධන තොග නොලැබෙන බව ත්, ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ඍජුව ම තේ වතු සමාගම්වලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන්නේ නම් එම ඉන්ධන තොග ගබඩා කර ගැනීමේ පහසුකම් ද වතු සමාගම්වල පවතින බව ත් රොෂාන් රාජදොරේ මහතා පැවසීය.

පවතින ඉන්ධන අර්බුදය හමුවේ මේ වන විට ත් වතු සමාගම් කිහිපයක තේ කුඩු නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බව ත්, පවත්නා තත්ත්වය මත සහ ජීවන වියදම ඉහළ යාම හමුවේ තේ වතුවල වැඩ කරන වතුකම්කරු කාන්තාවන් විදේශ රැකියා සඳහා යාමේ ප්‍රවණතාවක් මතු වී ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

  • රංජිත් රාජපක්ෂ – හැටන්