පුරවැසියකුට පා පහරදුන් ලුතිනන් කර්නල් රාජකාරියෙන් ඉවතට

0
15

කුරුණෑගල යග්ගහපිටිය අයි.ඕ.සී. ඉන්ධන පිරවුම්හලේ ඇති වූ නොසන්සුන්තාව අතරතුරදී පුද්ගලයකුට පයින් පහර දුන් උසස් හමුදා නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු රාජකාරිවලින් ඉවත් කර ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග හෙළි කරයි.

මොහු පළමුවන ජාතික ආරක්ෂක බලමුළුවේ වාරියපොළ කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන ලුතිනන් කර්නල්වරයෙකි.

මෙම ලුතිනන් කර්නල්වරයා මෙසේ සියලු රාජකාරිවලින් ඉවත් කර ඇත්තේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ නියෝගයකට අනුව බව කියැවේ. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගේ උපදෙස් මත විමර්ශනයක්  පවත්වමින් ඇති අතර යුද හමුදා පොලිස් සේවා බළකායද තවත් විමර්ශනයක් අරඹා තිබේ. අදාළ ලුතිනන් කර්නල්වරයා සම්බන්ධයෙන් මූලික පරීක්ෂණවල නිර්දේශ ලැබෙන තුරු මොහුව රාජකාරිවලින් ඉවත් කර ඇතැයිද කියති. ඒ සඳහා බළසේනාධිපතිවරයකුගෙන් යුත් සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත මූලික පරීක්ෂණ අධිකරණයක්ද යුද හමුදාපතිවරයා විසින් පත් කරනු ලැබ තිබේ.

කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයකුට මෙම යුද හමුදා කර්නල්වරයා පයින් පහර දෙන දර්ශනයක් ඇතුළත් වීඩියෝවක් ඉකුත් දින සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ හමුදාපතිවරයා මෙම පියවර ගෙන තිබේ. පහර කෑමට ලක්වූ පුද්ගලයා දින 4ක් තිස්සේ ඉන්ධන පෝලිමේ රැඳී සිටියදී පොලිස් නිලධාරීන් පැමිණ ඉන්ධන පෝලිමෙන් පිට ඉන්ධන ලබාගැනීමට යෑම නිසා ඊට උරණ වූ මොහු එම අසාධාරණයට විරුද්ධව නැඟී සිට ඇත. ඒ අවස්ථාවේ මෙම පුද්ගලයා අල්ලා අදාළ ලුතිනන් කර්නල්වරයා වෙත ඉදිරිපත් කළ මොහොතේ ඔහු එම පුද්ගලයාට පා පහරක් දී තිබිණි.

කීර්ති මෙන්ඩිස්