හෙම්මාතගම කළුකඩ මුදලාලිලා කිරිපිටි ඇසුරුම් මිල මකා හිතූ ගණන් දමාගෙන

0
22

හෙම්මාතගම නගරයේ බොහෝ සිල්ලර වෙළෙඳසල්වල වියළි ආහාර, කිරිපිටි යන ආදී පැකට් ඇසුරුම්වල මුද්‍රණය දැක්වෙන කොටසේ ඇති මිල මකා දමා වෙළෙඳුන් විසින් විවිධ මිල ගණන් යටතේ ඒවා අලෙවි කරන අයුරු දැකගත හැකි විය.

නගරයේ ප්‍රධාන වෙළෙඳසලකින් කිලෝවක කිරි පැකට් එකක් රුපියල් 2,985කට මිලදී ගත් තිදරු පියකු එය නිවෙසට රැගෙන විත් කිරි පැකට්ටුවේ මිල ගණන් පරීක්ෂා කර බලද්දී එම මිල මකා දමා ඇති බවත් වෙළෙන්දා අලෙවි කළ එම කිරි පැකට්ටුවේ නියම මිල රුපියල් 2,500ක් විය යුතු බවත් දැනගෙන තිබේ.

තමාට සිදු වූ අසාධාරණය කියා ගන්නට වගකිය යුතු නිලධාරියකු නොමැතිකම නිසාම මේ සම්බන්ධයෙන් අප මාධ්‍ය වෙත ඔහු මෙසේ කරුණු හෙළිදරව් කළේය.

හෙම්මාතගම නගරයේ ප්‍රධාන පෙළේ මෙම වෙළෙඳසලෙන් තමයි මම නිවෙසට අවශ්‍ය ආහාර යනාදිය මිලදී ගන්නේ. මෙදා රුපියල් 15,000කට ආසන්න බඩු මිලදී ගත්තා. කිලෝ එකේ කිරි පැකට් එකකුත් ගත්තා. සියලු බඩුවල මිල ගණන් දැක්වෙන බිලකුත් මට දුන්නා ගෙදර ගිහින් තමයි බිල චෙක් කළේ. කිරි පැකට් එකට රුපියල් 2,985ක් දාලා තිබුණා. මට සැකයක් හිතුණේ කිරි පැකට් එකේ මුද්‍රණය කර එන මිල දර්ශකය පමණක් මකා දමා තිබූ නිසා. කල් ඉකුත් වීමේ දින නිෂ්පාදිත දින මැකිලා තිබුණේ නැහැ. මේ සැකය නිසා මම හෙම්මාතගම නගරයේ වෙනත් කඩ කිහිපයක එම කිරි පැකට් එකේම මිල සොයා බැලුවා. එක් කඩයකින් කිරි පැකට් දාන වෙළෙඳ සමාගමට කෝල් කරලා මිල වෙනස් වුණාද කියලා ඇසුවා. ඔවුන් කීවා මිල ගණන්වල කිසිදු වෙනසක් වී නැති බව. සිතූ ගණන් දමමින් අපිව ගසා කන මේ වෙළෙන්දෝ ගැන සොයා බලන්න කවුරුවත් නැද්ද?