හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කර්යාලයේ කළමනාකරණ නිලධාරියා යළි රිමාන්ඩ්

0
11

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන්ගේ සෞඛ්‍ය හා පෝෂණය නංවාලීමට වෙන් කර තිබූ මුදල්වලින් රුපියල් ලක්ෂ 400කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිවරයා තවදුරටත් මේ මස 7 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙස හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් කේ.වී.ඒ.ජී. ගුණරත්න මහතා නියෝග කළේය.

මෙසේ තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කළේ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරියකු වන සුපුන් පියතිලක නමැත්තෙකි. මෙම මහා පරිමාණ මූල්‍ය වංචාවට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති අනෙකුත් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට හිඟුරක්ගොඩ පූර්වගාමි මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයට නියෝග කර මාස තුනකට අධික කාලයක් ගත වුවද එකී නියෝගයට අනුව අදාළ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් සමත්ව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර වැඩිදුර වාර්තාවක් මඟින් සැරයන් වීරතුංග (27373) මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම මහ පරිමාණ මුදල් වංචාවට අදාළව තවත් පස්දෙනකු සම්බන්ධයෙන් විමර්ශනයේදී අනාවරණ වී ඇති බවයි.

අධිකරණයට ඉදිරිපත් කර ඇති මෙම සැකකරුවන් සහ සැකකාරියන් අතර අධිකරණ යතුරු ලේඛිකාවක්, පශු වෛද්‍ය කාර්යාලයක සංවර්ධන නිලධාරිනියක් (හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ මීට පෙර සේවය කළ) සහ නාවික හමුදා නිලධාරියෙක්ද වෙති.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශය විමර්ශන ඇරැඹුවේ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ යමුනා ගීතාංජලී මහත්මිය කර තිබූ පැමිණිල්ලකට අනුවය.

පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් වීරතුංග (27373) මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර සැකකරු වෙනුවෙන් නීතිඥ රනිල් වීරසේකර මහතා පෙනී සිටියේය.

පොළොන්නරුව කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ මහතාගේ අධීක්ෂණය යටතේ පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

අනුරාධපුර _ ආනන්ද කරුණාදාස