හමුදා නිලධාරියාගේ ක්‍රියාව හේතුවෙන් සිවිල් සමාජය තුළ භීතියක් ඇති වෙනවා

0
47

කුරුණෑගල, යක්ගහපිටිය ඉන්ධන පිරවුම්හලක් අසලදී නිරායුධ සිවිල් පුද්ගලයකුට පහරදුන් යුද හමුදා උසස් නිලධාරියා තවදුරටත් එම තනතුර දැරීමට සුදුසුද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පැනනඟින බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පැවැසීය.

ඉන්ධනහලක් යනු යුද භූමියක් නොවන බවත් මොහුගේ මෙම ක්‍රියාව හේතුවෙන් සිවිල් සමාජය තුළ භීතියක් ඇතිවෙනවා සේම සමස්ත හමුදාවම අපකීර්තියට පත්වන බවද ඒ මහතා පැවැසීය.

විනයක් පවතින හමුදාවක ඉහළම නිලධාරියකු තුළින් මෙවැනි ක්‍රියාවක් සිදුවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද රට හමුදා රාජ්‍යයකට යෑමක් මෙයින් පෙන්නුම් කරන්නේද යන ගැටලුවද පැනනඟින බව ඔහු පැවැසීය.

යම් කලහකාරී සිද්ධියක් පොලිසියට පාලනය කිරීමට නොහැකි අවස්ථාවක ඒ සඳහා සහායට හමුදාව කැඳවුවද මේ ආකාරයෙන් සිවිල් පුරවැසියන්ට පහරදී නොමනා ආකාරයෙන් හැසිරීමට ඔවුන්ට හැකියාවක් නොමැති බවද ඔහු පැවැසීය.

ජනතාව මෙවැනි අවස්ථාවල කලහකාරී ලෙස හා ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කිරීම මිනිස් ස්වභාවයක් බවත් එවැනි සිද්ධීන් පාලනය කළ යුත්තේ මෙවැනි බඩේ පහරවල් දීමෙන් නොව ඔවුන්ට සාමය සමඟිය පෙන්වා දීමෙන් හා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් පමණක් බවද ඔහු පැවැසීය.

මෙම නිලධාරියාට හමුදාව තුළින් මෙන්ම සිවිල් නීතිය තුළින්ද දඬුවම් ලබාදීමට අවශ්‍ය පියවර ගත යුතු බවද මෙවැනි පුද්ගලයන්ගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් සමස්ත හමුදාවම සමාජයෙන් අපකීර්තියට පත්වීම වැළැක්විය නොහැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

කුමුදු උපුල් ශාන්ත