සල්ලිවලට Stress නැති කරන්න පුළුවන්ද?

0
63

මට හෙණ ස්ට්‍රෙස්. කියන පොදු ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩය මට නිතරම අහන්න, දකින්න ලැබෙන එකක්. මිත්‍ර සමාගම්වල සාකච්ඡාවලදී, අහඹු හමුවීම්වලදී, ළඟම කෙනෙක් දෙන දුරකථන ඇමැතුමකදී විතරක් නෙමෙයි බොහෝ වෙලාවට මගේ සහාය හොයාගෙන උපදේශන සේවාවන් ලබාගන්න එන, පුහුණු සැසිවලට සහභාගි වෙන අයට වුණත් ඔය වාක්‍ය ඛණ්ඩය හරි සමීප, ජීවිතයත් එක්කම බැඳී පවතින එකක්. කන්න ගියොත් උඹලා කාපන් මට ස්ට්‍රෙස් කියන, බොන්න ගියොත් උඹලා බීපන් මට ස්ට්‍රෙස් කියන, ටි්‍රප් එකක් යන්න හැදුවොත් උඹලා පලයන්, මට ස්ට්‍රෙස් කියන හිත මිතුරන්, මගේ මිතුරු හවුල ඇතුළේත් ඕනෑ තරම් ඉන්නවා. සමහර වෙලාවට මගේ Whatsapp Business ගිණුමට නාඳුනන අංකයකින්, උදෑසනම ලැබෙන පණිවුඩයක වුණත්.. මට උදවු කරන්න, හරිම ස්ට්‍රෙස් වගේ.. කියලා සටහන් වෙලා තියෙනවා.

සහකරුවා එක්ක දැඩිව ප්‍රේමයෙන් බැඳිලා ඉන්න වෙලාවක ඔහුගෙන් හෝ ඇයගෙන් දවසටම ඇමැතුමක් ලැබුණේ නැත්නම් මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. ආසාවෙන් කරන්න ගිය රස්සාව ඇතුළෙදී පර්ෆෝමන්ස් මදි කියලා බොස් බැරිවෙලා හරි බැන්නොත් මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. කන බත් පත බෙදාගෙන කාලා එකට හිටපු යාළුවෙක් කෝල් එකක්වත් දෙන්නේ නැතිව ෆිල්ම් එකක් බලන්න ගියොත් මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. පාන් මිල වැඩිවුණා, ඩොලරයේ අගය උඩ ගියා කියලා? අටේ ප්‍රවෘත්තිවලට කිව්වොත් මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. හැබැයි මොන ක්‍රමයකට, මොන විධියකට, මොන අවකාශයකදී මිනිස්සු ස්ට්‍රෙස් වුණත් එහෙම වෙන්න තමන්ගේ ජීවිතය ඇතුළේ තමන් ස්ථාවර නැතිවීම කියන දේ බලපානවා. අපි ස්ථාවරයි නම්, එහෙමත් නැත්නම් දැනටමත් settle වෙලා ඉන්නවා නම් අනපේක්ෂිත විධියට ජීවිතයේ මොන දේ සිද්ධ වුණත් ඒක අපිට දැනෙන විධිය ටිකක් වෙනස් වෙනවා.

ඒ ගැන හොඳම සහ ආසන්නතම උදාහරණය සපයන්නේ මගේ මිත්‍රයෙක්. ඒ මිත්‍රයා කොණ්ඩෙ දිගට වවපු, එකම කෙල්ලෙගෙන් දෙපාරක් බූට් කාපු ටිකක් විශේෂ මිත්‍රයෙක්. වැදගත්ම දේ වෙන්නේ පළමුවැනි පාර බූට් එක කනකොට මිනිහා තමන්ගේ ජීවිතයම කියලා නිර්වචනය කරගෙන තිබුණේ තමන්ගේ පෙම්වතියව විතරයි. ආදරය කරනවා, කසාද බඳිනවා, ළමයි 7ක් හදනවා, සතුටින් ජීවත්වෙනවා කියන අහිංසක, වැඩිහිටි බලාපොරොත්තු ටිකක් ඇරුණම මිනිහට කියලා වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ.

තමන්ගේ සැලරි එක වැඩි කරගන්න පොඩි ප්ලෑන් එකක්, තමන්ගේ කැමැතිම කාර් එක ගන්න ලොකු ඩ්‍රීම් එකක්, තමනුත් ගොඩගිහින් පවුලත් ගොඩදාන්න පුළුවන් විධියේ විෂන් එකක් මිනිහෙක්ට ඕන කියලා ඔහුට වැස්සකටවත් දැනිලා තිබුණේ නැහැ. ඇත්තටම ඒකෙ භයානක ප්‍රතිඵල මිනිහට දැනෙන්න ගත්තේ අවුරුදු දෙක තුනක් පස්සෙන් ගිහිල්ලා සෙට් කරගත්ත කෙල්ල අවුරුදු 3ක් යාළුවෙලත් ඉඳලා දාලා ගියාට පස්සේ.

බ්‍රේකප් එකෙන් පස්සේ තමන්ට මුකුත්ම නෑ කියලා දැනෙන කොට, තමන් තමන්ගේ ලයිෆ් එක ඇතුළේ හොඳම එකෙන් අස්ථාවරයි කියලා දැනෙන කොට උපරිම මාත්‍රාවෙන් මිනිහා ස්ට්‍රෙස් වුණා. ස්ට්‍රෙස් නැති කරගන්න මිනිහා විකේන්ඩ් එකේ යාළුවෝ එක්ක සෙට් වෙලා අරක්කු බෝතල් 4ක් – 5ක් කැඩුවා. පරණ ගිටාර් එකක් බෙල්ලෙ එල්ලගෙන අවුට් ඔෆ් පිච් බූට් සින්දු කිව්වා. ඒ සියල්ල අස්සේ පූරුවෙ පිනකට හම්බුණ මිනිහගේ බේබදු යාළුවෝ සෙට් එක ජීවිතේ කෙසේ විය යුතුද. කියලා මිනිහට පැහැදිලි කළා. ගේමක් ගහපන්. කියලා මිනිහගෙ ඔළුවට ටොක්කක් ඇන්නා.

ඒ මත් මේස සාකච්ඡාවෙන් මාස 2කට පස්සේ බූට් තියපු කෙල්ලත් එක්කම මිනිහා ලැජ්ජ නැතිව යාළුවුණා. හැබැයි ඒ ඉස්සර විධියට නෙමෙයි ජොබ් එකේ හොඳ පුටුවකට යන්න හීනයක් තියාගත්ත, හම්බෙන සැලරි එක මැනේජ් කරන්න ඉගෙනගත්ත, ගේමක් ගහලා BMW එකක් ගන්න ප්ලෑන් එකක් හැදුව සාධනීය තරුණයෙක් විධියට. එතැනින් මාස 7කට පස්සේ මිනිහා ආයෙත් බූට් එකක් කෑවා. හැබැයි හොඳම කතාව තමයි ඒ පාර මිනිහා වැටුණේ නැහැ. හොට බිම ඇනගෙන අඬ අඬා හිටියේ නැහැ. “යන අයට යන්න දෙන්න, ඉන්න අය එක්ක සතුටින් ඉන්න” කියලා මිනිහා Facebook එකේ ස්ටේටස් එකක් දැම්මා.

බූට් කෑවම විතරක් නෙමෙයි, ජොබ් එක නැති වුණාම, ළඟම යාළුවා වෙනස් වුණාම, ආණ්ඩුව බඩු මිල වැඩි කළාම කියන ඕනෑම තැනකදී මිනිස්සු ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. එහෙම ඇති වෙන ස්ට්‍රෙස් එක නැති කරගන්න, පාලනය කරගන්න හොඳම ක්‍රමවේදය තමයි තමන්ට කියලා ලයිෆ් ප්ලෑන් එකක් තියාගන්න එක. ජීවිතේ මොන දේ තිබුණත් ඒකට පහළින් තව බැකප් ප්ලෑන් එකක් තියාගන්න එක. හම්බෙන පඩිය මැනේජ් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගෙන ඉන්න එක.

මාසේ පළමුවැනිදට සැලරි එක අරගෙන, ඒක 15 වැනිදා වෙනකොට ඉවරයි නම් මාසෙ ඉතුරු දවස් 15ම ඔයාට ස්ට්‍රෙස් තමයි. හම්බෙන පඩියෙන් බිල් ටික ගෙවලා ඉවර වුණාම ලෙඩක් දුකක් හැදුණත් ණයක් ගන්න වෙනවා නම් ඔයා ජීවිතේ ඇතුළේ සල්ලිවලින් විතරක් නෙමෙයි මානසික වශයෙනුත් අස්ථාවරයි තමයි. එහෙම තත්ත්වෙකදී ඔයාට ස්ට්‍රෙස් දැනෙන එක සාධාරණයි. ඔයාට ඩිප්‍රෙෂන් වගේ කියලා ඔයාටම දැනෙන එක සාධාරණයි. අනෙක් වැදගත්ම දේ තමයි ජීවිතේ ඇතුළේ settle වෙනවා කියලා කියන්නේ ඉක්මනට කාර් එකක් අරන්, ටක්ගාලා ගෙයක් හදලා, ලබන මාසෙ ඉඳලා ලක්ෂයක් earn කරන එක නෙමෙයි. ඒකටත් කියන්නේ settle වෙනවා කියලා තමයි. හැබැයි ඊට කලින් මනසින් settle වීමයි වැදගත් වෙන්නේ. මෙතැනදී.

හම්බෙන පඩිය දවස් 30ටම අහේනියක් නැතිව පාවිච්චි කරගන්න පුළුවන් වෙන විධියට කළමනාකරණය කරගන්න ඉගෙන ගන්න වෙනවා. (රුපියල් 30,000ක් පඩි ගන්නවා නම් දවසට කීයක් වියදම් කරන්න පුළුවන්ද කියලා අවබෝධයක් තියාගන්න එකත් වැදගත්)

පඩිය  අතට ලැබුණ ගමන් පොඩි ගාණක් මොන දේ ආවත් හොලවන්නේ නැතිව තියෙන විධියට වෙනම ගිණුමකට යවන එක කරන්නම වෙනවා. (එතකොට ඒක හදිසි වෙලාවකට පාවිච්චි කරන්න පුළුවන්)

බොන්න වියදම් කරන්න කලින් කැමැති ඇ¾දුමක් ගන්න, ආස කරන සපත්තු කුට්ටම මිලට ගන්න වෙනවා. (මොකද තමන් ආස දේවල් තමන්ට මුලින්ම මිලදී අරන් දෙන්න ඕන)

පුළුවන් තරම් ලස්සනට හැමවෙලාවෙම අඳින එක, පිළිවෙළට කොණ්ඩෙ පීරන එක. හැමදාම දත් මදින එක, ඔයාගේ hygiene එක ගැන අවධානය දෙන එක කියන කාරණාවලටත් අවධානය දෙන්න වෙනවා.

එක ආදායමක් මත්තේ නැහෙන්නේ නැතිව පුළුවන් තරම් ඉක්මනට තවත් ආදායමක් හදාගන්නත් වෙනවා. (Part time job එකක් YouTube Channel එකක් වුණත් කමක් නෑ.)

තව අවුරුදු 5කින් කොතැනට යනවද, තව අවුරුදු 5කින් කීයක් සැලරි ගන්නවද, බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඒක පටන්ගන්නේ කවදද කියලා පැහැදිලි සැලසුමක් හදාගන්න වෙනවා.

මම හිතන්නේ ඕවා තමයි කෙනකුට settle වෙන්න වගේම අනපේක්ෂිත සිදුවීමකදී ස්ට්‍රෙස් නොවී, ඩිප්‍රෙස් නොවී ඉන්න බලපාන වැදගත්ම බේසික්ස් ටික වෙන්නේ.

අපි ආදරය කරන කෙනා දාලා යන එක, වැඩ කරන ආයතනය බංකොලොත් වෙලා වහලා දාන එක, ආණ්ඩුව බඩු මිල වැඩි කරලා වැටෙන්න පහරදෙන එක කියන කිසිවක් අපේ පාලනයේ තියෙන දේවල් නෙමෙයි. ඒ වගේම තමයි මිනිස්සු වැඩිපුරම ස්ට්‍රෙස් වෙන්නේ, ඩිප්‍රෙෂන් හදාගන්නේ පාලනයේ නැති දේවල් නිසා මිසක් පාලනයේ ඇති දේවල් නිසාත් නෙමෙයි. තමන්ගේ inner circle එකෙන් පිට සිද්ධ වෙන ඕනෑම අනපේක්ෂිත සිදුවීමක් නිසා ඔයා අදත්, සමහර විට හෙටත් ස්ට්‍රෙස් වෙන්න පුළුවන්. හිතපු නැති වෙලාවක ජීවිතේ සිද්ධවෙන මොකක් හරි plot twist එකකින් ඔයාව ආතතිමය තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙලාවට මතක ඇතුව පොකට් එක හිස් කරගන්නේ නැතිව තියාගන්න.

බැංකු ගිණුම සතේටම හිඳව ගන්නේ නැතිව තියාගන්න. හොඳ පඩියක් ලැබෙන ස්ථීර රැකියාවක් හොයාගන්න. ඔයාගෙ බිස්නස් එක හරියටම පටන්ගන්නේ කවදද කියලා deadline එකක් හදාගන්න.

එතකොට මගේ යාළුවා පළමුවැනි වතාවේ කළා වගේ, රුපියල් එකදහස් පන්සියයේ අරක්කු බෝතල් 4ක් – 5ක් කඩන්නවත්, පරණ ගිටාර් එකක් බෙල්ලෙ එල්ලගෙන අවුට් ඔෆ් පිච් බූට් සින්දු කියන්නවත් ඔයාට වුවමනා වෙන එකක් නෑ.

Stress නැති කරගන්න බැංකුවෙ රුපියල් කෝටියක් තියෙන්න ඕන නැහැ! හැබැයි stress නැති කරගන්න ඕනෑ නම් ඔයාගේ පොකට් එක හිස්වෙලා තියෙන්නත් බැහැ.!