සජිත් කියන පගා ගහපු ඇමැති කවුද?

0
16

වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු ජපානයේ “ටායිසේ” නමැති සමාගමෙන් පගාවක් අරගෙන ඇති බවට. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. අදාළ ඇමැතිවරයා කවුදැයි ජනාධිපතිවරයාද හොඳින් දන්නා බව විපක්ෂනායකවරයා කීය.

“අගමැතිවරයා අපෙන් අහනවා  විසඳුම් මොනවද කියලා. හැබැයි තමන්ගෙ කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන හොරකම්, දූෂණ කරන, පගාව ගන්න අය ගැන හොයලා බලන්න. මේ දූෂිත ක්‍රියා හරහා කොමිස් ගන්න අයට ඉඩ දෙනවා. හොරකම, දූෂණය නාස්තිය නවත්වන්න නේද කතා කළේ. පාර්ලිමේන්තුව රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට උත්තර දෙන්නේ නැහැ. ජනතාව බලන් ඉන්නේ උත්තර දෙනකම්.

පෙට්රල්, ඩීසල්, ගෑස් පෝලිමේ ඉන්න ජනතාවට කෝ විසඳුම්? අධ්‍යාපනය හදාරන  දූ දරුවන්ට කෝ විසඳුම්? කෝ දරුවන්ගෙ දිවා ආහාරය?  විපක්ෂයට කතා කරන්න අවස්ථාව දෙන්න. අගමැති විශේෂ ප්‍රකාශයක් කරමින් කිව්වා මේක බංකොලොත් රටක් කියලා. ඒක අපි කවුරුත් දන්නවා. විසඳුම් කෝ? අම්මලාට, දරුවන්ට ත්‍රීපෝෂ  ටිකක් දෙන්න බැරි ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් ආණ්ඩුවක් මොකටද? ඔබතුමාත් මේ විපක්ෂයේ ඉන්න ඕනි කෙනෙක්. කණා චාන්ස් වැදිලා අද ඔතැන හිටියට. අගමැතිතුමා ඔබතුමා දන්නවද මහ කන්නයට බීජ වී නැති බව. කෘෂි විශේෂඥයන් පෙන්වා දෙනවා මහ කන්නයේ අස්වැන්න 50% කින් අඩු වන බව. මහ කන්නයට යූරියා  ටික දෙනකම් ගොවියෝ බලන් ඉන්නවා. මේවා ඔබතුමා දන්නවාද?

එදා කටාර් දේශයට අපි ගියා මම ඇමැතිව සිටි කාලයේ. අපිට එහිදී හොඳ පිළිගැනීමක් තිබුණා. නමුත් ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා මුළු මැදපෙරදිගම රාජපක්ෂලා තරහා කර ගත්තා. මහින්ද රාජපක්ෂ හා ආර්. ප්‍රේමදාස මහත්වරුන් දෙන්නට කටාර් දේශයේ ඉහළ පිළිගැනීමක් තිබුණා. නමුත් මේ ජාතිවාදය ආගම්වාදය හින්දා ඔවුන් තරහා කරගත්තා. ගෝඨාභය රාජපක්ෂ ආවට පස්සේ ඊටත් වැඩියෙන් තරහ වුණා. කටාර් ගිහිල්ලා පිං පෙට්ටිය උස්සලා ආධාර ඉල්ලන අය තමයි මේ අය” ඔහු වැඩිදුරටත් පැවසීය.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි