විදුලි උපකරණ මිල තුන් ගුණයකින් නඟී

0
27

විදුලි උපකරණවල මිල තුන් ගුණයකට වඩා වැඩිවීමත් විදුලි කාර්මිකයන්ගේ වෘත්තීය අනතුරේ වැටී ඇතැයි විදුලි කාර්මික සංගමය පෙන්වා දෙයි.

නිවෙසකට අවශ්‍ය විදුලි පරිපථ වයර්, විදුලි පේනු (ප්ලග්), බල්බ්, ස්විච් ආදී උපකරණවල මිල ගණන් අසීමිත ලෙස වැඩිවී තිබෙන බැවින් ජනතාව විදුලි භාණ්ඩ ලැයිස්තුව දැක බියට පත්වන බව එම සංගමය සඳහන් කරයි.

ඩොලරය ඉහළ යෑමත්, විදුලි උපකරණ ආනයනය නතර කිරීමත් හේතුවෙන් වෙළෙඳපොළ තුළ අසීමිත ලෙස මිල ගණන් ඉහළ ගොස් ඇතැයි පෙන්වා දෙන විදුලි කාර්මික සංගමයේ උදය කුමාර මහතා මිල ගණන් අඩු කිරීමට හෝ විදේශ රටවලින් විදුලි උපකරණ ගෙන්වීමට ඉඩ ලබාදිය යුතුයි සඳහන් කළේය.

ඩොලරය සියයට 50කින් ඉහළ ගියද විදුලි භාණ්ඩ මිල සියයට 500කින් ඉහළ ගොස් තිබෙන බවත් මීට පෙර වෙළෙඳසල් ලබාදුන් වට්ටම් අඩු කිරීම් මේ වන විට සිදු නොවන බවත් හෙතෙම කියා සිටියේය.

මෙම තත්ත්වය තුළ විදුලි කාර්මික වෘත්තියේ යෙදුණු ශිල්පීන් බරපතළ ආර්ථික ගැටලුවකට මුහුණදී සිටින බවත් ඉතා ඉක්මනින් මෙම ගැටලු විසඳන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවැසීය.

අමිත් මධුරංග ගමගේ