රුහුණු ජාතික වනෝද්‍යානයේ මැණික් ගැරිල්ලක්

0
18

රුහුණු ජාතික වනෝද්‍යාන සංකීර්ණයේ (යාල) කලාප අංක 04හි කුඹුක්කන් ඔය ආශ්‍රිත කයිලකුඹුර ප්‍රදේශයේ සංවිධානාත්මකව මැණික් කැණීමේ ජාවාරමක් සිදුවෙන බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සාමාජික සජීව චාමිකර මහතා පවසයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය සේවා යටතට එක්කර ප්‍රමාණවත් පරිදි වාහනවලට ඉන්ධන ලබානොදීම මත මෙම ජාවාරම්කරුවන් ඔක්කම්පිටිය ඉන්ධනහල්වලින් ඉන්ධන ලබාගෙන මැණික් කැණීමේ ජාවාරම පහසුවෙන් කරගෙන යන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත උල්ලංඝනය කරමින් ඔක්කම්පිටිය ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සිදුකරන මෙම ජාවාරමට සේවකයන් 300ක් පමණ යොදාගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර සීයක් පමණ විනාශ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

මේ සඳහා බැකෝ යන්ත්‍ර හා යාන්ත්‍රික මැණික් ඉල්ලම් සේදුම් යන්ත්‍ර භාවිත කර තිබෙන බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාහනවලට ඉන්ධන නොලැබීම මත ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙන බවත් චාමිකර මහතා ප්‍රකාශ කළේය.

වනජීවී ඉහළ නිලධාරීන් මෙම ජාවාරම්කරුවන් කොටුකර ගැනීමට මැදිහත් නොවීම හේතුවෙන් පොලිසියේ සහ විශේෂ කාර්ය බළකායේ සහාය ලබාගැනීමටද නොහැකි වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

සජීව චාමිකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම, ශාක විනාශ කිරීම, එළිකිරීම, පතල් ගැරීම ඇතුළු ක්‍රියා නීති විරෝධී වන බවයි.

අලි – ඇතුන් ඇතුළු ඉතා විශාල ජෛව ප්‍රජාවකට වාසස්ථාන සපයන මෙරට සුවිශේෂීම ජාතික වනෝද්‍යාන සංකීර්ණය තුළ සිදුකරන මෙම මැණික් ජාවාරම මැඬලීමට නිලධාරීන්ට සියලු අංශවල සහාය ලබාදිය යුතු බවද ඔහු පැවැසීය.

එසේ නොවුණහොත් මෙම මැණික් ජාවාරම හේතුවෙන් දැවැන්ත පාරිසරික අර්බුදයකට මුහුණදීමට සිදුවනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අමිත් මධුරංග ගමගේ