රට හදන තැන

0
90

විදේශ විනිමය පනත යටතේ නියෝගවලට අදාළ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්

පාර්ලිමේන්තුව අද (06දා) පෙරවරු 10.00ට යළි රැස්වේ. විදේශ විනිමය පනත යටතේ නියෝගවලට අදාළ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමැතිවරුන් ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස්

පාර්ලිමේන්තුව අද (06දා) පෙරවරු 10.00ට යළි රැස්වේ.

පාස්කු ප්‍රහාරය මගේ ඇඟේ ගහන්න කරන උත්සාහයට මං ඉඩ තියන්නේ නැහැ : – මෛත්‍රිපාල සිරිසේන

“අනුරත් බෑ කිව්වලු, සජිතුත් බෑ කිව්වලු, මෛත්‍රිත් බෑ කිව්වලු, හැබැයි අපි මීට මාස 6කට පෙර ඉඳලා තමයි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සමඟ  සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්න සාකච්ඡා  කළේ” යැයි හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රි  මෛත්‍රිපාල සිරිසේන පැවැසීය.

ගරු මනුෂ නානායක්කාර අමාත්‍යතුමා කතා කරන විට මගේ නම දෙතැනක සඳහන් කළා. එම කරුණු දෙකට මම කෙටියෙන් පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එක කාරණයක් තමයි අනුර කුමාර දිසානායකත් බැහැ කියනවා. සජිත් ප්‍රේමදාසත් බැහැ කියනවා. මෛත්‍රිපාල සිරිසේනත් බැහැයි කියනවා කියලා. අපි මීට මාස 6කට පෙර ඉඳලා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කරලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නැයි කියලා ඉල්ලීමක් කළා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නම් ඒ ආණ්ඩුවේ වගකීම ගන්න අපි සූදානම් බව සඳහන් කළා. මම ඒක ජනාධිපතිතුමාට කියලා තියෙනවා. එළියෙත් කියලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේදීත් සඳහන් කරලා තියෙනවා.

ඊළඟ කාරණය තමයි පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් සභාවේ නිර්දේශ ගැන සඳහන් කළා. පහුගිය අවුරුදු එකහමාරේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු මේ කොමිෂන් සභා වාර්තාව හොඳට කියවලා ඇති. ඒ නිර්දේශ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය හොඳට දන්නවා ඇති. නිර්දේශවලට නඩු දාන්න පුළුවන් නම් මෙලහකටත් මට නඩු දාලා. එහෙම නම් නීතිපති දෙපාර්තමේන්තුව නඩු දැමිය යුතුයි. මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු අටක් තිබෙනවා. ඒ වගේම වන්දි ඉල්ලා වර්තමාන අගමැතිතුමාගෙන්, ඒ කාලේ මගේ හිටපු අගමැතිතුමාගෙන්, පොලිස්පතිතුමාගෙන්, හිටපු ආරක්ෂක ලේකම්තුමාගෙන් පෞද්ගලිකව වන්දි ඉල්ලා නඩු 400කට වැඩිය තියෙනවා.

මීගමුව මහාධිකරණය සහ කොළඹ මහාධිකරණයේ පාස්කු ඉරුදින කොමිෂන් සභාව පත් කළේ මම. මේ කොමිෂන් සභාවේ පැහැදිලිව කියන්නේ මෙම ප්‍රහාරය සිදු වනු ඇතැයි මම දන්නවා යැයි කියලා ඒගොල්ලො උපකල්පනය කරනවා කියලා තමයි කියන්නේ. එහෙම නම් මේකට නඩු දාන්න පුළුවන්. මම පැහැදිලිව කියනවා අපිට මේ තරම් නඩු ගණනාවක් තියෙනවා නම් ඒ ගැන පාස්කු කොමිසමේ නිර්දේශ අනුව අපිට නඩු වැටෙන්න ඕනේ. අපිට එහෙම කිසිම නඩුවක් නෑ. අපිට තියෙන්නේ මානව හිමිකම් සහ පෞද්ගලිකව වන්දි ඉල්ලන නඩු. මෙම කොමිෂන් සභාවේ නිර්දේශ මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම එය පිළිගන්නෙත් නැහැ. ඒ  කියන විදිහේ චෝදනාවක් මට ඇත්තෙත් නැහැ. මම මේ ගරු සභාවට පැහැදිලිව එම ප්‍රකාශය කරනවා.

ඇත්තටම මෙම කොමිෂන් සභාවේ නිර්දේශ ගැන මාධ්‍ය නැඟූ චෝදනා. මාධ්‍ය නිර්මාණය කළ චෝදනා. මේ හැම දෙයක්ම මම දන්නවා. එහෙම නිර්දේශයක් තියෙනවා නම් මට නඩු දාන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මේක මගේ ඇඟේ ගහන්න උත්සාහ කරනවා. ඒකට මම ඉඩ තියන්න ලෑස්ති නෑ. මේ පාස්කු ප්‍රහාරයට අද වෙනකන් හිරේ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්නවා. ඒ අයගෙන් සමහරකට තාම නඩු දාලා නෑ. එහි ත්‍රස්තවාදීන්ට නඩු දාන්නේ නැතිව ලෝකෙ කොහේවත් රාජ්‍ය නායකයන්ට ත්‍රස්ත ප්‍රහාරවලදී නඩු දාලා නෑ.

ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පන්දාහක් පමණ මැරිලා. ඇමරිකාවේ ජනාධිපතිවරයාට නඩු දාලා නැහැ. ලෝකෙ රටවල් 27කට පමණ ත්‍රස්ත ප්‍රහාර සිදු වෙලා තිබෙනවා. හැබැයි ඒ රටවල ඉන්න රාජ්‍ය නායකයෝ කිසිම කෙනකුට නඩු දාලා නෑ. වැරදිකාරයෝ කරලා නැහැ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක්. මේක සම්පූර්ණයෙන්ම මට විරුද්ධව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක්. එම නිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

රට අමාරුවෙ වැටෙන වෙලාවේ අපිට අත දෙන්න කවුරුත් නැති වුණා : -අමාත්‍ය විජයදාස රාජපක්ෂ

“අපි ඒ දරපු උත්සාහ සියල්ල අසාර්ථක වුණු තැන ජනාධිපතිතුමා විපක්ෂයටත් ආරාධනා කරලා ආණ්ඩුව භාර ගන්න, අගමැතිකම භාර ගන්න කියලා. ඒකත් ප්‍රතික්ෂේප කරන කොට රනිල් වික්‍රමසිංහ මහතාට ඉල්ලීම් කිහිපයක් ආවා, එතුමාට හරි මේ තනතුර භාර අරගෙන මේ ජනතාව වැටිලා ඉන්න කරදරයෙන් ගොඩගන්න කටයුතු කරන්න කියලා.

ඒ අවස්ථාවේදී මම පැහැදිලිවම ප්‍රකාශ කළා එතුමාට අපි සහයෝගය දෙනවා. ඒ වගේම සජබෙ පක්ෂයෙන් අපේ හරීන් ප්‍රනාන්දු මහතාත්, මනුෂ නානායක්කාර මහතාත් ඒ මතයටම ආවා. අපිට ඕනකම තිබුණේ මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න පුළුවන් කෙනා කවුද, කණ්ඩායම කවුද අන්න ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ප්‍රශ්නය විසඳන්න. සමහරු හිතන්න පුළුවන් අපිට ඇමැතිකම් ඕන නිසා මේක භාර ගත්තා කියලා. අගමැතිතුමාට අගමැතිකම ඕන නිසා මේක භාර ගත්තා කියලා චෝදනා එන්න පුළුවන්. එතුමා අගමැතිකම ඉල්ලුවේ නැහැ. එතුමාට අගමැතිකම ගන්න කියලා අපිත් බල කළා. ඒ වගේම එතුමාත් අපෙන් දිගින් දිගටම ඉල්ලීම් කළා මේක තනියෙන් කරන්න බැහැ. අපි එකට එකතු වෙලා විශේෂයෙන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වගේ දේවල්වලට අපි යා යුතුව තිබෙනවා. ඒ නිසා ඒ වගකීම් අපිට භාර ගන්න කියලා.

ඒ අනුව තමයි මමත් මේ අමාත්‍ය ධුරය භාර ගත්තේ. නීති ප්‍රතිසංස්කරණ ඒ වගේ සංහිඳියාව පිළිබඳව වගකීම භාර අරගෙන කටයුතු කරන්නේ. වරද කාගේ වුණත් වරද කොතැන වුණත් අපි පිළිගන්න ඕනෑ. එක පැත්තකින් අපේ ආර්ථිකය පිරිහීගෙන ගියා. අනෙක් පැත්තෙන් අපිට උදව්වක් උපකාරයක් කරන්න හිටිය ජාත්‍යන්තර සංවිධාන අපෙන් අෑත් වුණා. අපිත් එක්ක හිටපු උදවු කළ රාජ්‍යයන් අපෙන් අෑත් වෙලා ගියා. ඒක නිසා රට අමාරුවේ වැටෙන වෙලාවේ  අපිට අතදෙන්න කෙනෙක් නැති තත්ත්වයට පත් වුණා. එම අවස්ථාවේදී ඒ ජන අරගලයේ ප්‍රතිඵලයක් විධියට මේ නිර්මාණය වුණු අමාත්‍ය මණ්ඩලය තුළ අපි විශාල ප්‍රයත්නයක් දරනවා අපේ වගකීම ඉෂ්ට කරන්න.

අගමැතිගේ කතාවේ ජනතා ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැහැ ; – රංජිත් මද්දුමබණ්ඩාර

“පොහොර මෙටි්‍රක් ටොන් 65,000කින් යල-මහ අස්වද්දන්නෙ කොහොමද කියලා අග්‍රාමාත්‍යවරයා කිව යුතු යැයි සජබ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රි ‍රංජිත් මද්දුමබණ්ඩාර පැවැසීය.

“ අද අගමැතිගෙ කතාවෙන් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් නැහැ. රට ගැන  ජාත්‍යන්තර විශ්වාසය බිඳිලා. ආණ්ඩුවේ තිබුණු උද්දච්චකම ජනාධිපතිවරයාගේ තිබුණු උද්දච්චකම නිසා ලෝකයේ රටවල් අපි සමඟ තරහා වුණා. ජාතිවාදය නිසා මැදපෙරදිග තරහා වුණා. අඩු පොලියට ණය දුන්නු ජපානයේ ණය ප්‍රතික්ෂේප කළ නිසා ජපානය තරහා වුණා. ඊට පස්සේ එම්.සී.සී. ගිවිසුම ගැන මේ ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් එළියෙ ඉන්න ආචාර්යවරු කරපු කතාව නිසා ඇමරිකාවත් තරහා වුණා.

යුරෝපය මුළු ලෝකෙම අපිත් එක්ක තරහාවෙලා. මේ රට ගොඩනඟා ගන්න නම් අපිට ජාත්‍යන්තර ආධාර ඕනෑ වෙනවා. මේ ආණ්ඩුව, මේ ජනාධිපති ඉන්නතුරු අපිට ආධාර හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අපි ජාත්‍යන්තරය විශ්වාස කරන කණ්ඩායමක් මේ රටේ පාලනය භාරගත යුතුයි. ඒක තමයි ලෝක බැංකුව කිව්වේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ ස්ථාවර ආණ්ඩුවක් ගේන්න කියලා. ස්ථාවර ආණ්ඩුවක් අපේ රටේ නෑ. අටවාගත් ආණ්ඩුවක් තියෙන්නේ. අපෙන් ගත්ත දෙන්නෙකුයි ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයකුයි එක්කාසු  කරගත්තු ආණ්ඩුවක් තියෙන්නෙ.

1994 සිට අවුරුදු විසි හතරක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය ස්ථාවර ගිණුම්වල තැන්පත් කළා. විදුලිබල මණ්ඩලයේ ලාභ ගිණුම්වල තැන්පත් කළා. ඒවා අද පාඩුයි. රාජපක්ෂ පාලනය මේවට වග කියන්න ඕනේ. ශ්‍රීලන්කන් එයාර් ලයින් emirates එකට දුන්නා. රාජපක්ෂ හිටපු ජනාධිපතිට ලන්ඩන්වල ගුවන් යානයක ආසනයක් දුන්නේ නැහැ කියලා පවරා ගත්තා. අද බිලියන 500 ගාණක් ණයයි. මේවට වගකියන්න ඕනෑ මේ අය. ඒ මන්ත්‍රිවරු මෙතැන නැති එක ගැන කනගාටුයි. මේ මන්ත්‍රිවරුන්ට පුළුවන්නම් පෝලිමකට ගිහින් කතා කරන්න කියන්න, පොලිසිය දාගෙන කතා කරයි.

අගමැති පොහොර  මෙටි්‍රක් ටොන් 65,000ක් ගැන කියනවා. ඒකෙන් කොහොමද  යල  මහ අස්වද්දන්නෙ. ඒ වගේම දැන් මහ නායක හාමුදුරුවරු ඉල්ලීමක් කරලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක්. අද විපක්ෂයේ වාඩි වෙලා ඉන්න සියලුම පක්ෂ ඒකට අද එකඟතාව ප්‍රකාශ කළා. එහෙමයි රටක් හදන්නේ.

හරින්ලා මනුෂලා  මේ ආණ්ඩුවේ වොෂින් මැෂින් බවට පත්වෙලා : -නලින් බණ්ඩාර

“රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මාස එකහමාරක්  තිස්සේ  අර්බුදය ගැන ප්‍රකාශ කරනවා. හැබැයි අර්බුදයේ නිර්මාණකරු තවම මේ පුටුවේ ඉන්නවා. අපිට තියෙන කනගාටුව තමයි මේ ආණ්ඩුවේ වොෂින්  මැෂින් බවට පත් වෙලා තියෙන්නේ හරින්  මහත්තයයි, මනුෂ නානායක්කාර මහත්තයයි. ‍ෙදාරටුපාලකයෝ වෙලා තියෙන්නේත් හරින්, මනුෂ දෙන්නා,

ඒගොල්ලො චෝදනා කරන ආර්ථික අර්බුදයට හේතුව සජබ අපිලු. අපි ආණ්ඩුව ගත්තෙ නෑ තමයි. මේ විධියට මේ අර්බුදයේ නිර්මාණකරුවො ඉවත් කිරීමේ න්‍යාය පත්‍රයකින් තොරව අපිට ආණ්ඩු කරන්න බෑ. අර්බුදයේ නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂ. ඔහුට රටේ හැමෝම යන්න කියනවා. ඒත්  ජනමතයක් තියෙනවලු. ලක්ෂ 69 ජනමතය තමයි අද පාරේ ඉන්නේ. පෝලිමේ ඉන්න ජනතාව තමයි ගෝඨාට සාප කරන්නේ. ගෝ හෝම් ගෝඨා  කියන්නෙත්. ඒ ජනතාව  ජනතාවගේ ජනමතයක් ආණ්ඩුවට නැහැ. එහෙම ජනමතයක් කලින් නම් තිබුණා. හැබැයි ඒ ජනමතය අද සියයට තුනට බැහැලා.  ඒ වගේම හරින් තප්පුලනවා අපි යවපු  ලියුමක් ගැන. ඔව් අපි ලියුමක් ඉදිරිපත් කළා තමයි. කොන්දේසි තිබුණා ඒකෙ. නිශ්චිත කාලයකදී ජනාධිපති ඉවත්වීමේ ක්‍රියාපටිපාටිය පැහැදිලි කරන්න කියලා. ඒ කොන්දේසිවලට එකඟ වුණා නම් එදා සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිකම දෙන්න  තිබුණනෙ.

ඒවගේම විපක්ෂ නායකතුමා එක්ක මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති සාකච්ඡා කළා. හරින් මන්ත්‍රිතුමා අපෙන් අහනවා පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවෙක් එක්ක ඉන්න පුළුවන්ද කියලා. මම හරින්ගෙන්, මනුෂගෙන් අහනවා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුත් එක්ක ඉන්න පුළුවන්ද කියලා. පාස්කු ප්‍රහාරය දියත් කළ ආණ්ඩුව එක්ක  ඉන්න  පුළුවන්ද කියලා.”

ඒකාබද්ධ ආණ්ඩුවක් හදන්න නම් ජනාධිපති ඉවත්වන දිනේ ගැනත් එකඟතාවක් ඕනෑ : -ආචාර්ය හර්ෂ ද සිල්වා

“රටේ ඉල්ලීම තියෙන්නේ ඔබතුමා මෙතැනින් ඉවත්වෙලා යන්න ඕන කියල අපි ජනාධිපතිතුමාට කිව්වා. ඔබතුමාලා කියන්නේ මට සතියෙන්, දෙකෙන් යන්න කියලදැයි ජනාධිපතිතුමා අපෙන් ඇහුවා” යැයි ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවැසීය.

ගෙවල් ගිනි තිබ්බේ 9දා තමයි අරගලයට ගැහුවේ. 10 වැනිදා රෑ 8ට අපි ජනාධිපතිවරයාව හම්බවුණා. මම, එරාන් වික්‍රමරත්න, කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර කියන අපේ කණ්ඩායම තමයි හම්බවුණේ. 10.20 වෙනකන් සාකච්ඡා කළා. එතැනදී අපි එතුමාට කිව්වේ රටේ ඉල්ලීම තියෙන්නේ ඔබතුමා මෙතැනින් ඉවත්වෙලා යන්න ඕන. ඒ සම්බන්ධයෙන් කතා කරනකොට එතුමා අපෙන් ඇහුවා ඔබතුමන්ලා කියන්නේ මට සතියෙන් දෙකෙන් යන්නද අපි කිව්වා එහෙම නෙවෙයි යම්කිසි කාලසීමාවක් ලබාදෙන්න. එකඟතාවකට එමු. ඒ සාකච්ඡාව ඉස්සරහට ගෙනියන්න රමේෂ් පතිරණ ඇමැතිතුමාටයි, එරාන් වික්‍රමරත්න ඇමැතිතුමාටයි භාරදුන්නා. එහෙම නැත්නම් නාලක ගොඩහේවා ඇමැතිතුමත් එතැන හිටියා. අපි 7 දෙනා විතරයි හිටියේ.

මේක රට දැනගන්න ඕන. ඊට පස්සේ ඒ සාකච්ඡාව වුණේ 10 වැනිදා, අඟහරුවාදා, බදාදා මුකුත්  වුණේ නැහැ. මම දන්නේ නැහැ රමේෂ් පතිරණ ඇමැතිතුමයි, එරාන් වික්‍රමරත්න ඇමැතිතුමයි කතා කළාද කියලා. බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා ජාතිය අමතලා කතා කළා. ජාතිය අමතලා කතා කරලා කාරණා දෙකක් කිව්වා. එකක් තමයි වහාම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගේනවා කිව්වා. දෙක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඉල්ලීම් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සොයා බලලා කටයුතු කරන්න සූදානම් කියලා එතුමා කිව්වා.  ඒක කළේ බ්‍රහස්පතින්දා. ඊට පස්සේ සිකුරාදා අපි රැස් වුණා. රැස්වෙලා ලියුමක් සම්පාදනය කළා. ඒ ලියුමේ කාරණා දෙකක් කිව්වා. එකක් තමයි අපි  ඔහු සමඟ කරගෙන ගිය සාකච්ඡාව සහ ඊට කලින් දවසේ එතුමා රටට දීපු පොරොන්දුවට ප්‍රකාරව විපක්ෂ නායකවරයා ආණ්ඩුව භාරගන්න සූදානම් කියන එක තමයි ඒ ලියුමේ තිබුණේ.

ඉතින් ඒ නිසා මම කැමැතියි ඒක මේ රටේ ජනතාවට පැහැදිලි කරන්න. මොකද සමහරු හිතනවා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දිවුරුම් දෙන්න ගිය නිසා අපි මේ ලියුම එව්වා කියලා. මම පිළිගන්නවා හරින් ප්‍රනාන්දු දිගින් දිගටම කිව්වා ඕගොල්ලෝ මේක ගන්නේ නැත්නම් රනිල් මේක ගන්නවා කියලා. එතුමා කිව්වා. ඒක නෑ කියන්නේ නැහැ. හැබැයි ඒ ලියුම අපි ඉදිරිපත් කළේ සඳුදා, අඟහරුවාදා සිට කරගෙන ආපු සාකච්ඡාවේ දිගුවක් හැටියට. එතකොට අපි ඒ ස්ථාවරයේ එදත් හිටියා. අදත් ඉන්නවා. අපි ඉල්ලන්නේ ඒකාබද්ධ ආණ්ඩුවක්.

ඒකාබද්ධ ආණ්ඩුව ස්ථාපනය කරන්න නම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉවත්වන දිනය සම්බන්ධයෙන් එකඟතාවකට එන්න  ඕන කියන තැන තමයි අපේ විපක්ෂය මෙතන ඉන්නේ.

ඉන්ධන ඇණවුම් කරන්න ඕනෑ ජනාධිපති – අගමැති හෝ ඇමැති නෙවෙයි. ඒකට තෙල් සංස්ථාවේ නිලධාරීන් ඉන්නවා : -ඇමැති කංචන විජේසේකර

“අනුර කුමාර දිසානායක මහතා කිව්වේ ජනවරමක් නැති අගමැතිවරයෙක් පත්වෙලා ඉන්නවා.  ඒ නිසා එතුමා මේ තනතුරට පත් වෙන්න සුදුසු නැහැ. හැබැයි එතුමාම අනිත් පැත්තෙන් කියනවා ජනවරමකින් පත්වුණ ජනාධිපතිවරයාටත් ගෙදර යන්න කියලා” යැයි විදුලි බල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පැවැසීය.

දැන් මේ රටේ ජනාධිපතිවරයාට බලය දුන්නේ මේ රටේ ජනතාව  වසර පහක කාලයක් වෙනුවෙන්. ඔබතුමා එක පැත්තකින් කියනවා අගමැතිතුමාට ජනවරමක් නැහැ අනිත් පැත්තෙන් කියනවා ජනවරමක් තියෙන ජනාධිපතිවරයාටත් ගෙදර යන්න කියලා. අගමැතිවරයා පත්වෙන්නෙත් පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්තෙන්. ඔබතුමාම පිළිගත්තා විදුලිබල පනත ගේන වෙලාවේ ආණ්ඩුවේ කැමැත්ත කොහොමද කියලා. ඒ නිසා ඔබතුමන්ලාට කැමැත්ත තියෙනවා නම්, අපි මේ තනතුරුවලට කෑදරකමින් මේකෙ බැඳිලා ඉන්න අවශ්‍යතාවක් නැහැ. අපි හැම මොහොතේම කිව්වා.

මේ අභියෝගය භාර ගන්න කැමැති නම්, ඕන කෙනෙක්ට භාර ගන්න කියලා. මොකද අපි දන්නවා මේක භාර ගන්නකොට ඒක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. ඒක ඔබතුමාම දැන් කියනවා. ඔබතුමා භාරගත්තත් මාස 06 කෙටි කාලයයි. මාස 06න් පස්සේ යන්න ඕන මැතිවරණයකට. මැතිවරණයට ගිහිල්ලා තමයි ඊළඟ ආණ්ඩුවට එන්න ඕන කියලා. ඒක නිසා ඔබතුමාට සාධාරණත්වයක් තියෙනවා අඩුම තරමේ මාස හයක් හරි අගමැතිවරයාට දෙන්න. ඔබතුමාටත් මාස 06ක් දීලා මැතිවරණයට යන්න නම්, ඔබතුමා ඔබතුමන්ලාගේ දේශපාලන කණ්ඩායම්වලට පාරට බැහැලා අරගල කරන්න මිනිසුන්ට දෙන්න ඕන පණිවිඩය තමයි අපි මාස 06ක් දෙන්න ඕන මේ රට කොහෙටද ගෙනියන්න ඕන කියලා බලන්න පුළුවන් කියලා.

සමහරු හිතනවා ඉන්ධන ඇණවුම් කරන්නත් ඕන ඇමැතිවරයා කියලා. ඉන්ධන ඇණවුම් කරන්න ඕන ජනාධිපතිවරයා, අගමැතිවරයා කියලා. මේවට ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඉන්නවා. මේකෙ තියෙනවා වාණිජ අංශයක්, මූල්‍ය අංශයක් තියෙනවා. දැන් IOC එක ජනාධිපතිවරයාවත්, අගමැතිවරයාවත් මැදිහත් වෙලා නෙවෙයි ආයතනය ඇණවුම් කරන්නේ. ඒකට ඉන්නවා වෙනම කණ්ඩායමක්. මේක කළ යුතු කණ්ඩායම් තියෙනවා. මම දිගින් දිගටම කිව්වේ ඇමැතිවරු අවුරුදු 05කට, කෙටි කාලයකට ඉන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ දීර්ඝකාලීන සැලසුම ඒ ආයතනය ඇතුළේ යන්න ඕන.

අපේ තියෙන ණය පංගුව බැලුවම ඒක මාස 6න් 7න් ගොඩ ගන්න බැහැ : -අනුර කුමාර දිසානායක

අර්බුදයෙන් ගොඩ එන්න අන්තර්කාලීන  හෝ සර්වපාක්ෂික ආණ්ඩු හරියන්නේ නෑ. කෙළින්ම ජනවරමකින් විශ්වසනීය පාලනයක් ස්ථාපිත කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර කුමාර දිසානායක පැවැසීය.

පහුගිය සති කිහිපයේම බලන් හිටිය මාත් මගේ පක්ෂයත් අපිත් ඉලක්ක කර  විවිධ ප්‍රහාර එල්ල කරනවා. අද අගමැතිවරයාගේ ප්‍රකාශය මා ඇහුවා. මා විසින් කරන ලද ප්‍රකාශයකට ඔහු විටෙක විසූළුජනක ස්වභාවයෙන්ද තව විටෙක යම් ඉඟි බිඟිවලින්ද යම් කරුණු දක්වා තිබෙනවා. මේක අලුත් යෝජනාවක් නෙවෙයි. පහුගිය මැයි මාසෙ 11 වැනිදා අපි මේ රටේ, මේ ඇතිවී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කළා. ඒ යෝජනාවලිය කරුණු දෙකකින් සමන්විතයි.

පළමු කරුණ තමයි මේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුව ඉවත් වී අපට භාර දෙනවා නම් කැමැති ඇමැති මණ්ඩලයක් මේ 225 තුළින් හදාගෙන ආණ්ඩුව කරන්න අපි ලෑස්තියි කියලා. කවුරු හරි කිව්ව නම් අපි භාරගන්න ලෑස්ති නෑ කියලා. ඒක වැරදියි. අපි මැයි මාසෙ 11 වැනිදා අපේ ස්ථාවරය කියලා තියෙන්නේ. ගොඩක් ඇමැතිවරුන්ට, මන්ත්‍රිවරුන්ට, තමන්ට වාසි කෑල්ල විතරයි ඇහෙන්නේ. විශේෂයෙන්ම මේ අගමැතිවරයාට වාසි කෑල්ල විතරක් ඇහෙන පුරුද්දක් තිබෙන බව මං කලක් තිස්සේ දන්නවා. ඒ නිසා අපි නිශ්චිතව යෝජනාව ඉදිරිපත් කළා.

දෙවැනි යෝජනාව වුණේ ඒකට ඉඩ ඉඩ දෙන්නේ නැත්නම් කවර හෝ ආණ්ඩුවක් හදා ගන්නවා නම් ඒ ආණ්ඩුව යම් නිශ්චිත වැඩසටහනක් කාලරාමුවක් ඉදිරිපත් කරනවා නම් විපක්ෂයේ සිට සහාය දෙන්න ලෑස්තියි කියලා. ඒ මැයි මාසයේ 11 වැනිදා. හැබැයි ඒ යෝජනාව සංවාදයට භාජන වෙන්නත් කලින් හිටි හැටියේ නව අගමැතිවරයෙක් ලෙස ඔබ දිවුරුම් දුන්නා. 13දා වගේ දිනයක  දිවුරුම්දීම සිදුවුණේ. ඒ යෝජනාව සංවාදයට භාජන වුණේ නැහැ. අපි  මොකක්ද කියන්නේ කියලා තේරුම් ගත යුතුයි. අපේ රට ඉතාමත් ගැඹුරු ආර්ථික කඩාවැටීමකට මුහුණදී තිබෙනවා.

මේ ක්ෂණිකව වූ කෙටිකාලීනව මතුවූ දෙයක්  නොවේ. මේ දීර්ඝකාලීනව අනුගමනය කරන ලද ආර්ථික ප්‍රතිපත්තියක් හා ඒ ආර්ථික ප්‍රතිපත්ති සමඟ ගැට ගැහුණු දේශපාලන සංස්කෘතිය විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කළේ. බොහෝ අය උපුටා දක්වන්න හැදුවේ මේ අර්බුදයේ ආර්ථික කොටස විතරයි. හැබැයි බොහෝ අය මේ අර්බුදයේ දේශපාලන කොටස සඟවන්න උත්සාහ දරනවා. අපේ රටේ බොහෝ සංවර්ධන යැයි කියන  ව්‍යාපෘති සිදු වුණේ අප හදාගන්නා ආර්ථික උපාය මාර්ගක්‍රියාමාර්ගයකට අනුව නොවේ. එහෙනම් හම්බන්තොට වරාය කොතැනද තියෙන්නෙ?

පිරිපහදුව කොතැනද තිබෙන්නේ? එහෙම උපායමාර්ග තිබුණා නම්  පිරිපහදුව යට ගිහින් වරාය උඩට එන්නෙ කොහොමද? වංචාව, දූෂණය, කොමිස් කුට්ටි  මේ අර්බුදයේ හේතු.  මේ අර්බුදයේ විශාල පංගුවක් දේශපාලන සංස්කෘතිය  විසින් නිර්මාණය කරලා තිබෙනවා. මම මේ අග්‍රාමාත්‍ය ධුරය භාර ගත්තත් ඔබ භාරගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ ඔබටත් මටත් මේ පුටුවේ වාඩි වීම් සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්න. අඩුම තරමේ මට තියෙනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රි  ධුරයවත්.

රනිල් ඔබට ජනවරම සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රිකමක්වත් නැහැ. එහෙම කෙනෙක් අග්‍රාමාත්‍ය  ධුරය දින නියමයක් නැතිව තබාගෙන හිඳීම සාධාරණද? ඔබ සාමාන්‍යයෙන් පුවත්පත්වල මාධ්‍ය වාර්තාවල ලියනකොට ලියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය ගැන. ඔබේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට ඒක කොහොමද ගැළපෙන්නෙ. ඔය පුටුවෙ ඔබ ඇඹලයෙක් ලෙස ඇලීගැලී නැඟී සිටින්නට සූදානම් නම් අන්න ඒකට මම විරුද්ධයි.

මේ දශක ගණනාවක් ගමන් කරන මේ ආර්ථිකයේ බිහිසුණු තත්ත්වයක අද  අපි සිටින්නේ. ඒක මාස හයෙන් හතෙන් ගොඩනඟනවා කියන එක කාටත් බෑ කරන්න. නමුත් කරන්න තියෙන මූලික දේවල් ටිකක් තියෙනවා.

අපේ තියෙන ණය පංගුව බැලුවම ඒක මාස හයෙන් ගොඩගන්න බැහැ. අපේ ණය පංගුවේ විශාලත්වය ගත්තම මාස හයෙන් ගොඩනඟන්න බෑ. ආනයන – අපනයන පරතරය මාස 6න් ගොඩගන්න බෑ තමයි.

ඔබතුමා මට නොබෙල් තෑග්ග දෙන්න කතා කරනවා. ඔබතුමා අයින් වෙන්නම්ලු. මේ මොන විහිලු කතාද? ඔබතුමාට අයින් වෙන්න පුළුවන්. හැබැයි මාව  පත්කිරීමේ බලයක් තියෙනවද? ඒක තේරුම් ගන්න.

ඔබතුමා අයින් වෙලා මට දෙන්න බලයක් ඔබතුමාට නෑ. මේ පාර්ලිමේන්තුවේ අපි කැමැති ඇමැති මණ්ඩලය තෝරා පත් කරගෙන කෙටි කලක් තුළ රට සාමාන්‍ය තත්ත්වයට ගෙනැල්ලා මාස හයක් යන්නට මත්තෙන් මහමැතිවරණයකට ගිහිල්ලා නව ජනවරමකින් නව ආණ්ඩුවක් හදා ගත යුතුයි කියන මතය මම කිව්වෙ. මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් නිශ්චිත වශයෙන් ස්ථාවර විශ්වසනීය පාලනයක් අවශ්‍යයි.

පහුගිය 27 වැනිදා පොලිස්පතිවරයා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට ලිපියක් යොමුකොට තිබෙනවා. ඒ ලිපියේ නිශ්චිතව පැහැදිලි කරලා තිබෙනවා 5,6 කියන දිනවල කළු කොඩි සැමරුම් තියෙනවා. ඒ සැමරුම් උපයෝගි කරගෙන එල්ටීටීඊ සංවිධානය කළා යැයි කියනවා. ඒ මුවාවෙන් දකුණේ හෝ උතුරේ විදේශීය රහස් ඔත්තු සේවාවක් විසින් බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බව සඳහන් කර තියෙනවා. උතුරේ හෝ දකුණේ බෝම්බ පිපිරවීමේ අනතුරක් තියෙනවා. විදෙස් රහස් ඔත්තු සේවාවක් මේක කරන්නේ කියලා. මේක සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. එතකොට ඊළඟට සඳහන් කරලා තියෙනවා ඒක නොදුරු දිනක ජවිපෙ ඇතුළු  දේශපාලන ව්‍යාපාර විසින් මන්ත්‍රිවරුන්ගේ ගෙවල්වලට පහර දීමට ඉඩ තියෙනවා කියලා.

අපේ පක්ෂයේ නමත් දාලා තිබුණා. එහෙම එකක් සඳහන් වෙලා තියෙනවද? මනුෂ නානායක්කාර කියනවා 9 වැනිද ලොකු වාහන, ලොකු  ගෙවල් ගිනි ගන්න පුළුවන් කියලා. මේ ඔක්කොම  සංසන්දනය කර බැලුවම සාධාරණ සැකයක් තියෙනවා. ඒ තමයි  ආණ්ඩුව ජනතා විරෝධය යටපත් කරගැනීම වෙනුවෙන් ආණ්ඩුව විසින් සැලසුම් කරන ලද යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් දියත් කිරීම වුවමනාවකින් කටයුතු කරනවද කියලා. වහාම පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන්න ඕනේ. කැඳවලා අහන්න ඕනෑ පස්වැනිදා සහ හය වැනිදා කළු කොඩි සැමරුම් ඉලක්ක කර උතුරේ හෝ දකුණේ විදේශ ඔත්තු සංවිධානයක් විසින් බෝම්බ ප්‍රහාරය කරන්නට සැලසුම් කළ බව දැනුම්දී තිබෙනවාද කියලා.

පසුගියදා මන්ත්‍රිවරු ආයුධ ඉල්ලුවා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී. තුවක්කු හතර ගාණේ ඉල්ලුවා. ඊළඟට ග්‍රාමාරක්ෂක නිලධාරීන් පස්දෙනෙක් ලබා දෙන්න කිව්වා  ඔවුන්ට අවි පුහුණුව සහිතව. එක්දාස් නවසිය අසූ ගණන්වල  වූ දේවල් මතකද? උදාහරණයක් විදිහට  කැකිරාවේ අධිකාරීගේ ගෙදරට වෙනම අතුරු හමුදාවක් හිටියා. ග්‍රාමාරක්ෂක භටයන් හිටියා.  එවැනි ප්‍රවණතාවක් තියෙනවාද කියලා සැකයක් තියෙනවා.

අපිට පාඩම් ඉගෙන ගන්න එන්න කියන අගමැති ඔතැන ඉන්නේ ජාතික ලැයිස්තුවට පින්සිද්ධ වෙන්න : -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අග්‍රාමාත්‍යවරයා මේ තත්ත්වය පිළිබඳ තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මහාපාරේ, මහ පොළොවේ ජනතාවගේ මතය සහ අදහස තමයි පාර්ලිමේන්තුව නිකරුණේ රැස් වෙලා නිකන් යෝජනා – චෝදනා එහාට මෙහාට විසිකරන ස්ථානයක් බවට පත්වෙලා.  විශේෂයෙන්ම රට මුහුණ දෙන ප්‍රශ්නවලට රටේ ජනතාව මුහුණදෙන ගැටලුවලට මේ රටේ ජනතාව ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් සිටින මොහොතක ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම්. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගිරාපෝතක අඳෝනාවක් නෙමෙයි.  ජනතාව බලාපොරොත්තු වෙනවා විසඳුම්.

විශේෂයෙන්ම එතුමා ප්‍රකාශ කළා බංකොලොත් රටක්. ඔව් ඒක මුළු රටම දන්නවා. මං අහන්න කැමැතියි ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් ගෑස් පෝලිමේ, ඉන්න මිනිසුන්ට මොකක්ද දෙන විසඳුම. තෙල් පෝලිමේ, භූමිතෙල් පෝලිමේ, ඩීසල් පෝලිමේ පෙට්රල් පෝලිමේ සිටින මිනිසුන්ට දෙන මොකක්ද උත්තරය?

ත්‍රිපෝෂ කර්මාන්තශාලාව වැහිලා. අම්මලාට දූ දරුවන්ට ත්‍රිපෝෂ ටික නැහැ. ත්‍රිපෝෂ ටික දෙන්න බැරි ආණ්ඩුවක්.  ත්‍රිපෝෂ ටික දෙන්න බැරි අගමැතිවරයෙක්. ත්‍රිපෝෂ ටික දෙන්න බැරි ජනාධිපතිවරයෙක්.

 මේ රටේ දූෂණ, වංචා, හොරකම් සියල්ලක්ම නතර කරන්නට ඕනේ. මම ගරු අගමැතිතුමාගෙන් අහනවා, ජනාධිපතිවරයා බොහෝ ලෙස කලබල වුණාලු දැනට කැබිනට් එකේ ඉන්න ඇමැතිවරයා ජපානයේ Taisei කියන කොම්පැනියෙන් පගාවක් ඉල්ලලා. මම අහනවා මෙහෙම දූෂීත ආණ්ඩුවක් තුළ රට ගොඩනඟන්න පුළුවන්ද? එහෙනම් අග්‍රාමාත්‍යතුමා අපෙන් ඇහුවා විස¾දුම්. කරුණාකරලා තමන්ගෙ කැබිනට් මණ්ඩලයේ දූෂිත ක්‍රියාකාරකම් කරන, කොමිස් ගන්න, පගා ගන්න Taisei කම්පැනියෙන් පගාවක් ගත්තෙ කවුද? ජනාධිපතිතුමාගෙන්ම අහගන්න.

මම එතුමාට කියන්න කැමැතියි එතුමාට ඉතිහාසය අමතක වෙලා තියෙන්නේ. එතුමාට ඇත්ත වශයෙන්ම රණසිංහ ප්‍රේමදාසට පින්සිද්ධ වෙන්න එතුමාව නාමිකව තියා ගත්තා ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහනට. පැත්තක ඉඳගෙන එයාට ඉගැන්නුවේ මගේ තාත්තා. ගරු කතානායකතුමනි මට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න.

අග්‍රාමාත්‍යවරයා කියනවා අපිට පාඩම් ඉගෙන ගන්න එන්නලු එයා ළඟට. අපිට කියන්න තියෙන්නේ එයාට උගන්නන්න පුළුවන් හොඳම පාඩම උගන්නලා තනියම ජාතික ලයිස්තුවට පින්සිද්ධ වෙන්න ඔහේ ඉන්නවා වාඩිවෙලා. බින්දුවටම බැස්සුවා. දැන් කියනවා අපිට උගන්නන්න එන්නම්ලු. මං අහන්න කැමැතියි කවුද කිව්වේ එක පෑන් පාරෙන් පෝලිම් ටික ඉවර කරනවයි කියලා. කවුද කිව්වේ ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පහක් එක්කයි අගමැතිකම ගත්තෙ කියලා. කවුද  කිව්වෙ පැය 48න් ආහාර හිඟය, පෝලිම් ප්‍රශ්නය විසඳනවයි කියලා.  අපිද කිව්වේ?  නෑ එතුමා තමයි කිව්වේ. දැන් එතුමා වැඩ බැරි අගමැතිවරයෙක් කියන එක මුළු රටම දන්නවා. මුළු ලෝකෙම දන්නවා.  මම එතුමාට කියන්න කැමැතියි පිටරටවලින් ආධාර ගන්න පාඩම මම ළඟදීම උගන්වන්නම්.  හැබැයි ඒක කරන්නේ මෙයාට ඉගෙන ගන්න විතරක් නෙමෙයි.

අගමැතිවරයාට කියන්න කැමැතියි ගෑස්  ජාවාරම ගැන, ගෑස් හොරකම ගැන මේ සභාවට කියන්න. ඇයි ඩොලර් වැඩි ප්‍රමාණයක් කැපකරලා මහජනතාවගේ දුක මැද්දේ ඇයි හොරා කන්නේ? ඇයි සූරා කන්නේ? කම්බ හොරු. පට්ට හොරු ඉන්නේ. මම ඔබතුමාට කියන්න කැමැතියි කරුණාකරලා මිනිසුන්ගේ දුක විකුණගෙන ඩොලර් කොමිස් ගහන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. පුළුවන්නම් උත්තර දෙන්න.

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි