රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල

0
78

රට වැටී ඇති ඛේදනීය තත්ත්වයේ වගකීම භාරගෙන, තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ජනපති ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ඊයේ (05දා) පැවැසූහ.

රජයට තවදුරටත් බලයේ රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් එනිසා ජනතාව පීඩාවට පත් නොකර තම තනතුරුවලින් අස්වන ලෙසට ඉල්ලා සිටින බවත්  කාදිනල් හිමිපාණෝ කීහ.

මේ අවාසනාවන්ත තත්ත්වයෙන් රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල යැයිද ඔවුන් බලය අත්හළ දාට ජනතාව පතන සර්වපාක්ෂික ආණ්ඩුව ගොඩනඟා ගත හැකියි යැයිද අගරදගුරු හිමිපාණෝ අවධාරණය කළහ.

අගරදගුරු නිල නිවෙසේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

අද රට අද පත්වී ඇති උග්‍ර අර්බුදකාරී, අසහනකාරී තත්ත්වයට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව සෘජුවම වගකිවයුතු යැයි කාදිනල් හිමියෝ චෝදනා කළහ.

ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව පසුගිය දෙවසර තුළ ගත් අදූරදර්ශී සහ අත්තනෝමතික තීරණ නිසා මේ තත්ත්වය උද්ගත වූ බව පිළිගත යුතු බවද උන්වහන්සේ කීහ.

ජනතා මුදල් සහ රටේ දේපළ දූෂිත සහ වංචා සහගත ලෙස කොල්ලකමින් ජනතාව සූරාකමින් ගෙනගිය මුරණ්ඩු සහ මර්දනකාරී වැඩපිළිවෙළ මුල සිටම පිළිකුලෙන් යුතුව තමන් වහන්සේ හෙළා දුටු බව කාදිනල් හිමියෝ පැවැසූහ.

ඒ පිළිබඳව මේ වනතුරුත් විනිවිදභාවයකින් කිසිදු විමර්ශනයක් සිදු නොවූ බවත් ඒවාට සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් දීමක් හෝ සිදු නොවූ බවත් උන්වහන්සේ සඳහන් කළහ.

සමස්ත රටවැසියා තුළ පවතින දැඩි අවිශ්වාසයත් අප්‍රසාදයත් මධ්‍යයේ රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටින්නේ තම දේශපාලන බලය රැක ගැනීමට බවද උන්වහන්සේ පැවැසූහ.

ජනතාවට සේවයක් කිරීමට ඔවුන්ට ලැබුණු සෑම අවස්ථාවක්ම ඔවුන් නින්දිත ලෙස පැහැරහැර ඇතැයිද රාජපක්ෂ පවුලේ සමස්ත වැඩපිළිවෙළ දේශපාලන කූටෝපායක් යැයි ජනතාවට හොඳින් අවබෝධ වී ඇතැයිද අගරදගුරු හිමිපාණෝ සඳහන් කළහ.

එනිසා ඔවුන් ඉදිරිපත් කරන ආර්ථික, දේශපාලනික, ව්‍යවස්ථා සංශෝධන ආදී කිසිදු ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් භාර ගැනීමට ජනතාව සූදානම් නොමැති තැනට රාජපක්ෂ පවුල කෙරෙහි ජනතා විශ්වසනීයත්වය සහමුලින්ම බිඳවැටී තිබෙන බව කාදිනල් හිමියෝ කීහ.

ජනපති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වුවහොත් ජනතාව පතන සම්පූර්ණ ව්‍යුහාත්මක දේශපාලන වෙනස විශ්වසනීයත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව ගොඩනඟා ගැනීමට අන්තර්කාලීන සර්වපාක්ෂික රජයක් පිහිටුවාගත හැකි යැයිද උන්වහන්සේ පැවැසූහ.

සියලුදෙනාට පිළිගත හැකි තාක්ෂණික සහ විද්වත් කමිටුවක් හරහා විශේෂඥ උපදෙස් ලබාගනිමින් කෙටි කාලීන රජයක් පිහිටුවා පවතින ගැටලු ඉක්මනින් විසඳීමට කටයුතු කළ යුතු බවද කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

රටේ තත්ත්වය යහපත් වූ වහාම ජනතා අභිමතය විමසීම සඳහා මහමැතිවරණයක් පැවැත්විය යුතු යැයිද උන්වහන්සේ යෝජනා කරති.

රට පත් වී ඇති මේ විපත්තිදායක තත්ත්වය ප්‍රයෝජනයට ගෙන තම පටු පෞද්ගලික දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට අවස්ථාවාදීව කටයුතු නොකර ඉන් රට සහ ජනතාව මුදා ගැනීමට පෙරමුණ ගන්නා ලෙස උන්වහන්සේ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක්ද කළහ.

සවනි ශේශාධි