මේ පාර්ලිමේන්තුවෙන් කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලැබෙන්නේ නෑ

0
77

රටේ වත්මන් අර්බුද විසඳීම පිළිබඳව ජනාධිපතිවරයා තීන්දු තීරණ ගත් නමුත් එම තීන්දු තීරණ ගැනීම කළේ පමාවී බවත් එම නිසා එම තීරණවලින් ඵලක් නොවූ බවත් යුතුකම ජාතික සංවිධානයේ ප්‍රධානි පාර්ලිමේන්තු මන්ත්‍රි ගෙවිඳු කුමාරතුංග පවසයි.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේද කීය.

අද ඇතිවී තිබෙන අර්බුද පිළිබඳව අප කලින්ම රට දැනුවත් කළා. ඊට යෝජනාත් අප ඉදිරිපත් කළා. නමුත් කුමක්ද සිදුවුණේ. ඒ ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව සලකා බලන්නැතුව අපේ සහෝදර මන්ත්‍රිවරු දෙන්නෙක් ඇමැති ධුරවලින් ඉවත් කළා. එය නෙවෙයි විය යුතුව තිබුණේ. එම විසඳුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමයි.

අප ඒ යෝජනා ඉදිරිපත් කළේ පසුගිය මාර්තු 02 වැනිදායි. නමුත් ඒ යෝජනා පිළිබඳව සැලකිලිමත් වුණේ නැහැ. ඒ නිසයි අර 09 වැනිදා ඇතිවුණු ඛේදවාචකය සිදුවුණේ.

මෙම අර්බුද විසඳීම පිළිබඳව තවමත් හරිහැටි ක්‍රියාකරන බවක් අපට පෙනෙන්නට නැහැ. නව අගමැතිවරයෙක් පත්වුණා. ඔහු කළ යුතුව තිබුණේ පසුවදාට සියලු පක්ෂ රැස්කරලා ඊළඟට කරන්නට තිබුණු ක්‍රියාමාර්ග පිළිබඳ විමසීමයි. නමුත් එහෙම දෙයක් සිදුවුණෙත් නැහැ.

අපට මේ ප්‍රශ්නවලට තනිවම විසඳුම් සෙවීමට නොහැකියි. එම නිසා සර්වපාක්ෂික එකමුතුවකින් මෙම අර්බුදවලට විසඳුම සෙවිය යුතුයි.

මෙම අර්බුද පැමිණියායින් පස්සේ පාර්ලිමේන්තුව කීපාරක්නම් රැස්වුණාද? නමුත් කිසිම ආකාරයක විසඳුමක් මෙම ප්‍රශ්නවලට ලැබුණද. ඒ පිළිබඳව නම් ඇත්තටම කනගාටුයි. අපි මොනවා හරි වැදගත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්න කළොත් වෙන විකාරරූපී අදහස්වලින් තමයි උත්තර දෙන්නේ. කිසිම හරයක් නැහැ. මේ විදිහට දිගටම යන්න පුළුවන්ද? එහෙම යන්න බැහැ. ජනතාව මේවා දිහා බලාගෙන ඉන්නේ.

අපි කියන්නේ මේ ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ජාතික සභාවක් පිහිටුවන්න කියලයි. ජනතාවට වහාම සහන ලබා දිය යුතුයි. රුසියාවෙන් තෙල්, ගෑස් ගන්න පුළුවන් නම් ඒ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය