මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේ නඩුවට අදාළ සාක්ෂි ලේඛන මුදාහැරීමට නියෝග

0
21

හම්බන්තොට, මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම තුළින් රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු  විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබූ නඩුවෙන් විත්තිකරුවන් නිදහස් කර ඇති නිසා සාක්ෂි ලෙස ගොනුකර තිබූ ලේඛන නැවත පවරා ගැනීමට යටත්ව මුදාහැරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය පෙරේදා (04දා) නියෝග කළේය.

චම්පා ජානකී රාජරත්න හා නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව ඊයේ දින කැඳවනු ලැබූ අවස්ථාවේ මෙලෙස නියෝග කෙරිණි.

මෙම නඩුවට අදාළව සාක්ෂි ලෙස ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරිමේ සංස්ථාව සතු ලේඛන ගණනාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් නඩුව අවසන් කර විත්තිකරුවන් නිදහස් කර ඇති හෙයින් එම ලේඛන නැවත එම සංස්ථාවට මුදාහරින ලෙස රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ විත්තිකරුවන් මේ වන විට අධිකරණය මඟින් නැවත නඩු පැවැරීමට යටත්ව නිදහස් කර ඇති බැවින් පැමිණිල්ල විසින් විත්තිකරුවන්ට නැවත නඩු පැවැරීම කළහොත් අදාළ ලේඛන අධිකරණයට ගෙන්වා ගන්නේ කෙසේ දැයි විනිසුරු මඩුල්ල එම අවස්ථාවේදී පැමිණිල්ලෙන් විමසා සිටියේය.

නැවත අධිකරණයට එම ලේඛන භාරදීමේ කොන්දේසියක් මත ඒවා මුදාහැරීම කරන ලෙසට රජයේ නීතිඥවරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේනම් එම ලේඛන සුරක්ෂිතව තබාගෙන අධිකරණය ඉල්ලා සිටින ඕනම අවස්ථාවක නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව එම ලේඛන ඉඩම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත මුදාහැරීමට විනිසුරු මඬුල්ල නියම කළේය.

2013 සැප්තැම්බර් 03 වැනිදාත් 2015 පෙබරවාරි 02 වැනිදාත් අතර කාලය තුළ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ2 339ක් වැයකර වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට  විත්තිකරුවන් හත් දෙනකුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා ගොනුකරනු ලැබීය.

එම රුපියල් ලක්ෂම 339  වැය කොට වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ, ස්මාරකය ඉදිකිරීමෙන් එම මුදල් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ  මණ්ඩල සාමාජිකයන් වූ 02 සිට 06 දක්වා වන විත්තිකරුවන්ට එරෙහිවද ඒ සඳහා ආධාර අනුබල දුන් බවට 01 සහ 07 වැනි විත්තිකරුවන්ට එරෙහිවද නීතීපතිවරයා චෝදනා නඟා තිබිණි.

මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස  වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර තිබූ අතර ඒ මහතා ජනාධිපතිවීමෙන් අනතුරුව එම නඩුවෙන් නිදහස් විය.

අනතුරුව 2021 ජූලි 02 වැනි දින අනිකුත් විත්තිකරුවන් වූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, භද්‍රා උදුලාවතී කමලදාස, සුදම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර ආබ්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය හා ශ්‍රීමතී මල්ලිකා කුමාරි සේනාධීර යන අය   මහාධිකරණය මඟින් නිදහස් කර තිබිණි.

හංසි නානායක්කාර