මහේන්ද්‍රන් ඇතුළු 10කට එරෙහි පළමු බැඳුම්කර නඩුව 21 කැඳවයි

0
19

භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස සාපරාධී සාවද්‍ය  පරිහරණය කර රජයට රුපියල් මිලියන 688 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව ගොනුකර ඇති පළමු නඩුව ලබන  ජූලි මස 21 වැනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණය පෙරේදා (04දා) නියෝග කළේය.

චම්පා ජානකී රාජරත්න සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බව සඳහන් කරමින් විත්තිකරුවන් විසින් මීට පෙර මූලික විරෝධතා අධිකරණය හමුවේ ගොනුකර තිබූ අතර නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ  උදාර කරුණාතිලක මහතා විසින් එම මූලික විරෝධතාවලට අදාළ ලිබිත දේශන අධිකරණයට ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධයෙන් විත්තිකරුවන්ගේ පැහැදිලි කිරීම් ඇත්තේ නම් ඒවා ඉදිරි  දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  විනිසුරු මඬුල්ල නියෝග කළ අතර නඩුව නැවත ජූලි 21 වැනි දින කැඳවන ලෙසද නියම කළේය.

2015 වසරේ පෙබරවාරි 27 වැනිදා බැඳුම්කර වෙන්දේසියේදී භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය කර රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ එම නඩුව ගොනුකර තිබිණි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී  ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන එම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ විශ්වමිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබිණි.

හංසි නානායක්කාර