පොහොර නැව 09දා කොළඹ වරායට

0
19

ඉන්දීය ණය යෝජනා ක්‍රමය  යටතේ මෙරටට ලබාදෙන යූරියා පොහොර තොගය සහිත නැව ලබන මස 09 වැනි දින කොළඹ වරායට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවැසීය.

එම පොහොර තොගය ලැබුණු වහාම දිවයින පුරා වී වගාකරන ගොවීන් වෙත බෙදාහැරීම සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම විසින් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයිද ඇමැතිවරයා ඊයේ (05දා) පැවැති සාකච්ඡාවකදී   සඳහන් කළේය.

ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් මෙම යූරියා පොහොර බෙදාහැරීම සිදු කරන  අතර  ඒ සඳහා දැනටමත්  අවශ්‍යතාව  පරිදි  ගොවීන්  තෝරාගෙන ලැයිස්තු සකස් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

එම ලැයිස්තු සකස් කිරීම ගොවි සංවිධානවල සහයෝගය යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන  විසින් සිදුකර ඇත.

යූරියා පොහොර මිල දී ගැනීම  සඳහා සියලුම ගොවි සංවිධාන විසින් දැනට තෝරාගෙන සිටින ගොවීන්ගේ නාම ලේඛනය පරිදි අදාළ මුදල් ගොවිජන සේවා මධ්‍යස්ථාන  වෙත ගෙවිය යුතු බවද අමාත්‍යාංශය පවසා ඇත.

මීට අදාළ තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ ඹඹඹ.චඨපචපඪචදඤඥනබ.ඨධම.තඬ ඇතුළත් කර ඇත.

යූරියා පොහොර ලබාදීමේදී තෙත් කලාපයේ කුඹුරු හෙක්ටයාර් එකක් සඳහා කිලෝග්‍රෑම් පනහක්ද, වියළි කලාපයේ හෙක්ටයාර් එකක්  සඳහා යූරියා පොහොර කිලෝග්‍රෑම් සියයක්   වශයෙන් ලබාදීමට සැලසුම් කර තිබේ.

මෙම යූරියා පොහොර මිටියක් රුපියල් දසදහසක මුදලකට ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය  තීරණය කර ඇති අතර ඒ සඳහා අමාත්‍ය   මණ්ඩලය අනුමැතියද හිමි වී ඇත.

නිර්මාණි ගුණරත්න