නෙළුවේ තරුණයාගේ ඝාතනයට පුතයි-තාත්තයි රිමාන්ඩ්

0
23

ගාල්ල, නෙළුව, පින්කන්දහේන ප්‍රදේශයේදී තේ කපන පිහියකින් පහරදී තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නෙළුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගන්නා ලද සැකකාර පිය – පුතු දෙදෙනා ජූලි 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උඩුගම මහෙස්ත්‍රාත් එම්. බණ්ඩාර මහතා පසුගියදා (03දා) නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ නෙළුව, පින්කන්දහේන පදිංචි කාලිංග නන්දසේන (50) සහ කාලිංග අමිල සඳරුවන් (17) නමැති පිය-පුතු දෙදෙනා වෙති. ඝාතනයට ලක්ව ඇත්තේ පින්කන්ද, ධනවල, නෙළුව කළුආරච්චිගේ තුෂාල ලක්මාල් (22) නමැති අය වන අතර පසුගිය සිකුරාදා (01දා) රාත්‍රි ඝාතනය සිදුව තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

සැකකරා පියා සහ පුතා අතර ඇතිව තිබූ ආරවුලක් සමථයකට පත් කිරීමට යෑමේදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් මෙම ඝාතනය වී තිබෙන බව නෙළුව පොලිසිය කියයි.

මියගිය අයගේ බෙල්ලට පිහිපාරක් එල්ල කර තිබෙන බවත් ඒ සඳහා සිරුරේ වෙනත් තුවාල කිසිවක් නොමැති බවත් පොලිසියේ සටහන්වල සඳහන් වේ. යොදාගන්නා ලද තේ කපන පිහියද පොලිසිය මඟින් සොයා ගෙන තිබේ.

බළපිටිය – දම්සරී ලියනගේ