නීති විරෝධීව ගෙනා කහ සහ කෘමිනාශක තොගයක් යුද හමුදාවෙන් අල්ලයි

0
16

කිලිනොච්චිය, පුනරීන්, වෙට්ටකාඩු ප්‍රදේශයේදී නීති විරෝධීව සඟවා තිබූ වියළි කහ කිලෝ 2000ක් සහ කෘමිනාශක තොගයක් පෙරේදා (04දා) අත්අඩංගුවට ගත් බවට යුද හමුදාව පවසයි.

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 66 වැනි සේනාංකයේ යුද හමුදා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව අදාළ කහ සහ කෘමිනාශක තොගය වෙට්ටකාඩු ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබියදී සොයාගනු ලැබීය.

වියළි කහ තොගය පොහොර උර 65ක සහ කෘෂිනාශක තොගය උර 03ක දමා සඟවා තිබුණු අතර මේවා නීති විරෝධීව ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් වෙනත් ප්‍රදේශයකට රැගෙන යෑම සඳහා මෙම ස්ථානයේ සඟවා තබන්නට ඇති බවට යුද හමුදාව සැක පළ කර සිටියි.

සොයාගත් වියළි කහ සහ කෘමිනාශක තොගය රැගෙන ආ පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා පුනරීන් පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

මුලතිව්-ශෂිකුමාර්, වවුනියාව – එන්. ප්‍රියදර්ශනි, වවුනියාව -රසාදි චතුරංගි ගමගේ