නීතිපතිගේ ඉල්ලීම ගැන අධිකරණයේ මතය පසුවට

0
19

ඒරොෆ්ලොට් රුසියානු ගුවන් යානය සම්බන්ධයෙන් වූ නඩුව නිශ්ප්‍රභ කිරීමට නීතිපතිවරයා කරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් ලබන 15 වැනි දින නියෝගයක් නිකුත් කරන බව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා ඊයේ (05දා) ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම නඩුව නිශ්ප්‍රභ කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා සිටියේය.

එසේම විත්තිකාර රුසියානු ගුවන් සමාගම විසින්ද අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් සිදු කළේය.

රුසියානු “ඒරොෆ්ලොට්” ගුවන් යානයකට කටුනායක ගුවන්තොටුපොළින්  පිටවීම වළක්වාලමින්  ඉකුත් ජුනි 02 දින කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබිණි. ඒ අනුව පිටත්වීමට සූදානම් කර ඇති ගුවන් යානය සිය සමාගමේ යානාවක් බවත්, ඊට  අයවිය යුතු මුදල් නිසි පරිදි ගෙවා නොමැති බැවින් එම මුදල් බේරුම්කරණය කරන තෙක්  යානයට ශ්‍රී  ලංකාවෙන්  ඉවත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං  ලිමිටඩ්  සමාගම විසින් ගොනු කළ නඩුවක් ප්‍රකාරව  වාණිජ මහාධිකරණය එලෙස එම  වාරණ නියෝගය නිකුත් කළේය.

අනතුරුව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ කරනු ලැබූ කරුණු දැක්වීම් සලකා බලමින්   නිකුත් කර තිබු එම වාරණය අධිකරණය විසින් අත්හිටුවමින් නියෝගයක් නිකුත් කර තිබිණි.

හංසි නානායක්කාර