නාගරික මන්ත්‍රිවරු තුවක්කු ඉල්ලති

0
19

ඉදිරි ආරක්ෂාව සඳහා නාගරික මන්ත්‍රිවරුන්ට තුවක්කු ලබාදීම සුදුසු බව අනුරාධපුර මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රි ටී.එම්. ධර්මසේන මහතා පැවැසීය.

මන්ත්‍රිවරයා එලෙස පැවැසුවේ ඊයේ (5දා) අනුරාධපුර මහ නගර සභා රැස්වීමේදීය. පසුගිය කාලයේ මහජන නියෝජිතයන්ට හා ඔවුන්ගේ දේපළවලට බලවත් ලෙස හානි සිදුවූ බවත් ඉදිරියේද එවැනි වාතාවරණයක පෙරනිමිති පහළ වී ඇති බවත් පැවැසූ මන්ත්‍රිවරයා ඒ හේතුව නිසා නාගරික මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාවට ආයුධ ලබාදිය යුතු බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේය.

යෝජනාවට පක්ෂව කරුණු දැක්වූ නගරාධිපතිවරයා පැවැසුවේ පසුගිය 9 වැනිදා තම නිවෙසට හා දේපළවලට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ තමන් සතුව ආයුධයක් තිබුණේ නම් ප්‍රහාර එල්ල කිරීමට පැමිණි නොපැමිණි අය කවුරුන් දැයි හෙළි කිරීමට ඉඩ තිබූ බවයි. මෙහිදී කරුණු දැක්වූ නාගරික මන්ත්‍රි විරාජ් රණවීර මහතා ඉල්ලා සිටියේ එම ප්‍රකාශය සභා වාර්තාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් නාගරික මන්ත්‍රිවරුන්ට ආයුධ ලබාදීමේ යෝජනාවට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායම අදහස් දැක්වූහ.