තනිවම ඇවිද ගැනීමට වත් නොහැකි පිරිස් වෙත තනතුරු දීමෙන් අර්බුදය වැඩිවුණා

0
89

පාසල් දරුවාගේ සිට විශ්වවිද්‍යාල ශිෂ්‍යයා දක්වා ඔවුන් බලාපොරොත්තු වන ලෝකය කරා යෑමට සුදුසු වැඩපිළිවෙළක් සැකසිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැසීය.

තවදුරටත් බලා සිටීමට තරම් කාලයක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

රට ඉතාම නරක අයුරින් අර්බුදකාරී වාතාවරණයක් කරා ගමන් කරමින් සිටින බවද හිටපු ජනපතිවරයා අවධාරණය කළේය.

විපක්ෂ නායක කාර්යාලයේ පෙරේදා (04දා) පැවති “ජාතික ප්‍රතිසංස්කරණ හා ඉදිරි ගමන” වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කීය.

පවතින තත්ත්වය තවත් උත්සන්න වී රට කුමන අතකට ගමන් කරයිද යන්න අවිනිශ්චිත යැයිද හෙතෙම පැවසීය.

විදේශීය තානාපති සේවා රට වෙනුවෙන් වගකීම ඉෂ්ට නොකළ බවද ඔහු චෝදනා කළේය.

එම තනතුරුවලට පත් කිරීමේදී හිතවත්කම් නෑදෑකම් මත පත් කළ බවත් තනිවම ඇවිද ගැනීමට වත් නොහැකි පිරිස් එම තනතුරට පත් කළ අයුරු දක්නට ලැබුණු බවත් හෙතෙම කීය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසුවේ සියලු පක්ෂ හා සංවිධාන එකට එක් වී කටයුතු නොකළහොත් රට විනාශ වන බවයි.

පසුගිය වසර 3කට ආසන්න කාලය තුළ මේ රටේ පාලකයන් අනෙක් පුද්ගලයන්ගේ අදහස් නොතකා තමන් පමණක් නිවැරදි යැයි සිතා කටයුතු කිරීම හේතුවෙන් වර්තමානයේ රට විශාල අගාධයකට වැටී ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඒ සදහා  සියලු දෙනා එකතු වී සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයකට යා යුතු බවද හෙතෙම කීය.

ඒකාධිපතිත්වයෙන් තොරව සියලු දෙනාගේ මතවලට ඇහුම්කන් දෙන සමාජ ප්‍රතිසංස්කරණයකින් රට ගොඩනැඟිය හැකි යැයි ඔහු පැවැසීය.

ඒ සඳහා ප්‍රගතිශීලී පක්ෂවල යෝජනා සහ අදහස්වලට ඇහුම්කන් දෙන බවත් හෙතෙම කීය.

විපක්ෂයේ අරමුණ  විවිධාංගීකරණයට ලක් වූ අදහස් එකට එකතු කළ හැකි පොදු ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ රට නැවතත් ගොඩනැඟීම බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එම න්‍යාය පත්‍රය මඟින් රටේ ජනතාවගේ අහිමි වී ගිය හුස්ම නැවතත් ලබා දිය හැකි බවද ඔහු කීය.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ‍ෙදාස්තර රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්, රවුෆ් හකීම්, සී. විග්නේශ්වරන්, පී. දිගම්බරම් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු දේශපාලන පක්ෂවල නායකයෝ හා සාමාජිකයෝ රැසක්ද, වික්ටර් අයිවන්, කේ. ඩබ්ලිව් ජනරංජන, ගාමිණි වියංගොඩ, රොහාන් සමරජීව, රවී කුමුදේශ් ඇතුළු සිවිල් සමාජ ක්‍රියාකාරීහු විශාල පිරිසක්ද එක්ව සිටියහ.

සවනි ශේශාධි, නිර්මාණි ගුණරත්න