ජීවන වියදම පිළිබඳ කැබිනට් අනුකාරක සභාවක්

0
20

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනය කිරීමට හා ආහාර සුරක්ෂිතතා කමිටුවක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.  ජනතාවට දැනෙන ජීවන වියදම යම් යම් ආකාරයෙන් සමනය කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට මේ අයුරින් කමිටුවක් පිහිට වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ඊයේ (05දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් හෙතෙම මේ බව කීය.   ජීවන වියදම් ඉහළ යෑම වැළැක්වීම සඳහා ප්‍රතිපත්තිමය හා ප්‍රයෝගික විස¾දුම් කැබිනට් මණ්ඩලයට නිර්දේශ කිරීම මේ කමිටුවල ප්‍රධාන පරමාර්ථය බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් හා සාමාජිකයන් 7 දෙනකුගේ සහභාගිත්වයෙන් යුතුව ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව ප්‍රතිස්ථාපනය කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ධීවර, ප්‍රවාහන හා මහාමාර්ග, කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, විදුලිබල හා බලශක්ති, වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා යන අමාත්‍යවරුන්ගෙන් සමන්විතව මේ කමිටුව පත් කර ඇත.

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ කටයුතු සඳහා සහාය වීමට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් සහ අදාළ අමාත්‍යවරුන්ගේ හා ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් ආහාර සුරක්ෂිතතා කමිටුව පත්කිරීමටද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

සවනි ශේශාධි