කන්දකාඩු රැඳවූවා ඝාතනය කලේ මොට ආයුධයකින් පහර දීලා

0
16

වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදී අබිරහස් ලෙස මරණයට පත්වූ රැඳවූවාගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

ඒ, ඊයේ (05දා) පොළොන්නරුව මහ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදීය. පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.එල්. සුරංග පෙරේරා මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය.

ඒ අනුව මොට ආයුදවලින් පහරදීමෙන් ශරීරයේ අභ්‍යන්තරය පුරා ඇතිවූ තැළීම් තුවාලවල සංකූලතා නිසා එම රැඳවූවා මරණයට පත්ව ඇති බව විශේෂඥ වෛද්‍යවරයා නිගමනය කර තිබේ.

ඉකුත් 29 වැනිදා මෙසේ පහරදීමෙන් ඝාතනයට ලක්ව තිබුණේ උඩුවර, දෙමෝදර අංක 22/7හි පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂ නමැති 36 හැවිරිදි තරුණයෙකි.

මෙම කඳවුරේ රඳවා සිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව අධිකරණය මඟින් පුනරුත්ථාපනය කිරීම ස¼දහා නියෝග ලබාදුන් රැඳවූවන්ය. මෙහි පරිපාලනය භාරව තිබුණේ පුනරුත්ථාපන කොමසාරිස් දෙපාර්තමේන්තුවටය. ඒ යටතේ මධ්‍යස්ථානය තුළ ආරක්ෂාව හා සියලු කටයුතු කළේ ශ්‍රී  ලංකා යුද හමුදාව මඟිනි.

කෙසේ වෙතත් ඉකුත් 29 වැනිදා කඳවුර තුළ රැඳවූවකු මියයෑමත් සමඟ සෙසු රැඳවූවන් දැඩි නොසන්සුන්තාවට පත්වූ අතර ඔවුහු යුද හමුදා නිලධාරීන් සමඟ ගැටුමක් ඇතිකර ගනිමින් ප්‍රකෝපකාරීව හැසිරුණහ. මෙහිදී ඇතැම් රැඳවූවන් පැවැසුවේ නිලධාරීන් රැඳවූවාට අමානුෂික ලෙස පහරදීම නිසා ඔහු මියගිය බවය. මියගිය රැඳවූවා සතුව දුම්කොළ කුඩු තිබීම සම්බන්ධයෙන් හමුදා පුහුණු උපදේශකවරයකු රැඳවූවාගොත් විමසා ඔහුට පහරදුන් බවත් එම අමානුෂික පහරදීමේදී ඔහු මියගිය බවත් කියමින් රැ¼දවූවෝ යුද හමුදා නිලධාරීන් සමඟ ගැටුමක්ද ඇති කරගෙන රැඳවූවාගේ මළසිරුරවත් පිටතට ගැනීමට නිලධාරීන්ට ඉඩ නොදෙමින් කලහකාරී ලෙස හැසිරුණහ.

ඒ අතර හයසියයකට වැඩි රැ¼දවූවෝ පිරිසක් කඳවුර වටා ඇති ආරක්ෂක රැකවල් කඩා බිඳ දමා කඳවුරෙන් පලාගියහ.

පලාගිය රැඳවූවන් යළි අත්අඩංගුවට ගැනීම සඳහා යුද හමුදාව හා පොලිසිය ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කළ අතර එහිදී රැඳවූවෝ පොලු මුගුරු හා ගල්වලින් පොලිසියට හා හමුදාවට පහරදුන්හ.

පිරිස පාලනය කිරීමට කඳුළු ගෑස් පවා එල්ල කරන්නට විය.

රැඳවූවන් එක හ¾ඩින්ම කීවේ විවිධ හේතුන් මත සුළු වරදකට පවා නිලධාරීන් රැඳවූවන්ට අමානුෂික ලෙස පහර දෙන බවය. පසුව පොළොන්නරුව නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත වැලිකන්ද පොලිසියත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයාගේ මෙහෙයවීම මත විමර්ශනයක්ද ආරම්භ කෙරිණි. මෙහිදී රැඳවූවන් විශාල පිරිසකගේ ප්‍රකාශ ලබාගත් අතර ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීහු කණ්ඩායමක්ද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා කන්දකාඩු බලා පිටත්ව ගියහ.

ක්‍රමයෙන් තත්ත්වය පාලනය කරගැනීමට පොලිසියට හා යුද හමුදාවට හැකිවිය. පසුව මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය පැවැසුවේ රැ¼දවූවාගේ මරණය සම්බන්ධයෙන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සහය උපදේශකවරුන් 04 දෙනකු වැලිකන්ද පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ සිවුදෙනා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ නිලධාරීන් වන බවත් ඔවුන් පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කොට මේ මස 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් පොලිස් මූලස්ථානය කීවේය. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ රැඳවූවාට පහරදීම සඳහා යොදාගත්  බවට සැලකෙන ඝනකම් විදුලි වයරයක් සහ උණ පතුරු 02ක් පොලිසියෙන් සොයාගත් බවය.

මේ සම්බන්ධයෙන් රැඳවූවන් දුන් ප්‍රකාශ මත පුනරුත්ථාපන කඳවුරේ සහාය පුහුණු උපදේශකවරුන් සිවුදෙනා පොලිසියට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණි.

කෙසේ වෙතත් රැ¼දවූවා මියයෑමට ආසන්නම හේතුව දැනගැනීම සඳහා ඊයේ (05දා) පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමටද තීරණය කෙරිණි.

පොළොන්නරුව නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතාගේ උපදෙස් මත වැලිකන්ද සහකාර පොලිස් අධිකාරි චානකද සිල්වා, වැලිකන්ද පොලිස් ස්ථානාධිපති සමන්ත රත්නායක සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමතිරත්න ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.