ඔමිකේ‍රා්න් නව ප්‍රභේදය පැතිරුණොත් යළි මුඛ ආවරණ අනිවාර්යයි

0
18

යළි ඔමිකේ‍රා්න් නව ප්‍රභේදයක් පැතිර යෑමේ අවදානමක් මතුවුවහොත් මුව ආවරණ අනිවාර්ය කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

දැනට සිදුව ඇත්තේ මුව ආවරණ ඉවත් කිරීමක් නොව මුව ආවරණ අනිවාර්ය කිරීම ඉවත් කිරීම පමණක් යැයිද එ් අනුව කැමැති අයකුට මුව ආවරණ භාවිත කිරීමේ තහනමක් නැතැයිද හෙතෙම සඳහන් කළේය.

මුව ආවරණ අනිවාර්ය කිරීම ඉවත් කළේ විශේෂඥ කමිටුවේ නිර්දේශ මත බවත් එය සිදුකළේ  එම කාලයේ තිබූ රෝග ව්‍යාප්තිය අඩුවීම, මරණ සංඛ්‍යාව ආදී සංඛ්‍යා ලේඛන අනුව බවත් ඔහු කියා සිටියේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ, නව  ප්‍රභේදයකින් ඇතිවන අවදානම අඩු කර ගැනීමට කොවිඩ් එන්නතේ සිවු වැනි මාත්‍රාව ලබාගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.

එන්නත ලබා ගැනීමෙන් රෝගය වැලඳුණත් මරණයෙන් වැළකිය හැකි වන බැවින් හැකි ඉක්මනින් ළඟම එන්නත් මධ්‍යස්ථානයෙන් සිවු වැනි මාත්‍රාව ලබා ගන්නැයිද හෙතෙම ඉල්ලා සිටියේය.

එම මාධ්‍ය හමුව ඇමැතූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ ප්‍රධාන විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ කියා සිටියේ, ගෝලීය වශයෙන් කොරෝනා වසංගතය පහව ගොස් නැති බවය.

මේ වනවිට ගෝලීය වශයෙන් නව ප්‍රභේදය වැලඳුණු පිරිස වැඩිවෙමින් පවතිතැයි වාර්තා වන බවද වෛද්‍ය ගිනිගේ කියා සිටියේය.

ශ්‍රී  ලංකාවේ ප්‍රාථමික එන්නත්කරණය සියයට සියයක් සාර්ථක නමුත් ප්‍රතිශක්තිය ඒකාකාරීව නොතිබෙන  බැවින්  පළමු, දෙවැනි එන්නත් ලබාගෙන වසරකට වඩා ගත වී ඇත්නම් බූස්ටර් එන්නතක් ලබාගත යුතු බවත් හෙතෙම කියා සිටියේය.

තුන්වැනි මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන අටක් පමණ පිරිසක් බවත් එය ලබානොගත් පිරිස ඉක්මනින් තෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවත් හෙතෙම කියා සිටියේය.

”අපේ පාලනයෙන් බැහැරවයි මේ රෝගය අලුත් වෙවී එන එක පවතින්නේ. නමුත් එන්නත්කරණයේ ප්‍රතිඵල අපි අත්විඳලා තියෙනවා. අපේ රටේ මරණවලින් සියයට 70ක් විතර හැටට වැඩි හා රෝගවලින් පෙළෙන අය. ඒ නිසා මේ කණ්ඩායම් හැකි ඉක්මනින් සිවු වැනි මාත්‍රාව ගත යුතුයි” යැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද හා අනුක ජීව විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රකාශ කළේ පරිසරයට අනුවර්තනය වන නිසා නව ප්‍රභේද හැදෙන බවයි. එය වේගයෙන් පැතිර යන බවත් සමහර රටවලට බලපෑම් ඇති කරන නමුත් සමහර ඒවාට නැති බවත් කී ඇය එය තීරණය වන්නේ රටේ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙළ මත බවත් ඇය කියා සිටියාය.

 ලංකාවේ සමස්ත ජනගහනයෙන් තුන්වැනි මාත්‍රා ලබාගෙන ඇත්තේ සියයට 37.12ක් බවත්  අනෙක් ආසියාතික රටවල් 70ක් පමණ එය ලබාගෙන ඇති බවත් ඇය කියා සිටියාය.

නිදන්ගත රෝග ඇති අයට අලුත් එන ඔමිකේ‍රා්න්වලින් බලපෑම් ඇති බවත් ලංකාව තියෙන තත්ත්වයත් සමඟ රෝහල් ගත වීම සුළු වශයෙන් වැඩි වුණත් මේ වෙලාවේ දරන්න බැරිවිය හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

විනීතා එම්. ගමගේ