එකක් කඩතොලු වසා ගන්නට ගොසින් මට වූ කාරියා.

0
407

වහාම විදේශ විනිමය ලැබෙන ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා ආණ්ඩුව තීරණ ගත යුතුය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්, කොවිඩ්  වසංගතයෙන් පසු දරුණු ආර්ථික අර්බුදයකට පත්ව ඇති රට දේශපාලන කුණාටුවකටද මුහුණ දුන් අතර නැවතත් විශාල රැල්ලක් නැඟෙන්නට කලින් ආරක්ෂිත වෙරළකට යාත්‍රා කළ යුතුව ඇත. ශ්‍රී ලංකාව මුහුණ දුන් අතවරවලට අමතරව ජාත්‍යන්තරයෙන් පැන නැඟී ඇති ප්‍රශ්නවලද ගොදුරක් වී හමාරය. රුසියාව හා යුක්රේනය අතර හටගෙන ඇති ගැටුම පදනම් කරගෙන සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇති බොරතෙල් මිල ගණන්, රට තවත් වටයකින් අනතුරක් සඳහා තල්ලු කරමින් සිටී. ඉන්දියාව, කුවේට්, සවුදි අරාබිය හා රුසියාව යනාදී රටවලින් ඉන්ධන සැපයුම සඳහා සහන ඉල්ලන ආණ්ඩුවට සහනවලින්ම යැපෙන්නට හැකි සීමාවක් තිබේ. රටට අනන්‍යවූ ක්‍රමවේදයකට අනුව වහාම තීරණ ගත යුතුව ඇත.

සංචාරක ව්‍යාපාරය හා විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විනිමය රටට වත්කම් ඉක්මනින් ලබාගත හැකි මාර්ග අතර පවතී. නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර විශ්වාසය නංවා ගැනීමෙන් පසු ආයෝජන ගැන බලාපොරොත්තු තැබිය හැකිය. දින, සති, මාස ගණන් ගත වෙමින් පවතී. ප්‍රශ්න එකිනෙක තවදුරටත් සංකීර්ණ වන ලකුණු පෙනේ. තීරණ ගැනීම ප්‍රමාද වන මොහොතක් පාසා ඒවාට වන්දි ගෙවන්නේද මෙරට ජනයා බව මතක් කිරීම අවශ්‍යය.

සංචාරක කර්මාන්තය නංවන්නට පියවර ගැනීම

පරිසරය සුදුසුම අවස්ථාවට එන තෙක් සංචාරකයන් නොපැමිණෙන බව තක්සේරු කිරීම වරදකි. පසුගිය මාසයේ සංචාරකයන් තිස් දෙදහසක් පැමිණ ඇත. එය මෙම වසරේ ජනවාරියේ පැමිණි අසූ දෙදහසක පමණ පිරිස සමඟ සසඳන කල විශාල අඩුවීමකි. දැනට පැවැත්වෙන ඕස්ට්‍රේලියා ක්‍රිකට් සංචාරය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට හොඳ අත්වැලකි. රට මුහුණ පා ඇති තත්ත්වය දරුණු නැති බව ජාත්‍යන්තර මාධ්‍ය ඔප්පු කරමින් සිටී. කටුනායක ගුවන් තොටුපොළට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වූ අතර යුරෝපා රටවල් ශ්‍රී ලංකාව අවදානම් සහගත රටක් බවට නම් කර තිබියදී පවා ලක්ෂ ගණනින් සංචාරකයෝ මෙරටට පැමිණියහ. මෙරටට වඩා දුප්පත්, සංචාරය අපහසු, ගමනාගමනය කටුක ගමනාන්තවලට සංචාරකයෝ ගමන් කරති. ලෙබනන්, ඇෆ්ගනිස්ථාන් හා කුවේට් රටවල ගැටුම් තිබියදී සංචාරකයන් බහුලව පැමිණි බව එම රටවල වාර්තා කියයි. අපට අවශ්‍ය එකඟතාවකි. ඩුබායි, තායිලන්තය හා මාලදිවයින සමාජ මාධ්‍ය භාවිත කර ප්‍රචාරක කටයුතු අරඹා ඇත. විශේෂ වීසා ක්‍රම හා අඩු වියදම් සංචාරක සැලසුම් හඳුන්වාදී ඇත. මේවායෙන් රටට වාසියක් ලබාගත හැකිය.

සංචාරක කර්මාන්තය ඉක්මනින් විනිමය උපයා ගත හැකි මඟකි. ලෝක සංචාරක ව්‍යාපාරය දක්වන පරිදි 2019 සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 9.2කි. 2020 කොවිඩ්  සමඟ එය සියයට 47කින් එනම් ටි්‍රලියන 4.5 දක්වා පසුබැසීමකට ලක් විය. ශ්‍රී ලංකාව ගොදුරු වෙන්නේ පාස්කු ප්‍රහාරයේ අත්දැකීම්වලට හා එයින් පසු වර්ධනය වූ කොවිඩ් රැල්ලකටය. 2021දී සංචාරක ක්‍ෂේත්‍රයේ පිරිවැටුම ඇමෙරිකානු ඩොලර් ටි්‍රලියන 8.6ක් වන අතර එහි රැකියා අවස්ථා මිලියන පනස් අටක් නිර්මාණය වනු ඇතැයි සැලකේ.

විනිමය අගය අවප්‍රමාණය වී ඇති සහ හෝටල් කාමර ඉතා අඩුවට ලබාදිය හැකි පසුබිම වහාම සන්නිවේදනය කළහොත් මෙම සංචාරක අවස්ථාවලින් කොටසක් රටට දිනාගත හැකිය. ඉන්දියාව, චීනය හා යුරෝපා රටවල් ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන තැන්ය. කෙසේ වෙතත් ඇතැම් ගුවන් සේවා සිය ගමනාන්තය ලෙස කොළඹ දක්වා පැමිණීම අත්හිටුවා ඇත. ඉන්දියාවෙන් සතියකට පැමිණි ගමන් වාර පහළොවක් පමණ කපා හැරීම එයින් ප්‍රධානය. යානා හිස්වන විට අනෙක් සමාගම්ද එම පිළිවෙළ අනුගමනය කරනු ඇත. ගුවන් සේවාවලට අවස්ථා දෙන අතර සංචාරකයන්ටද දිරිගැන්වීම් ප්‍රකාශයට පත් කළහොත් අවුරුද්දකට ඇමරිකානු ඩොලර් බිලියන තුනක පමණ පහසු ඉලක්කයකට මෙම වසරේදී ගමන් කළ හැකිය.

 විදේශ රැකියා අවස්ථා වැඩි කරන නැඹුරුවක්

ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් ඇති ඇතැම් පිරිස් රට හැර යන උත්සාහයක සිටින බව සමාජ මාධ්‍ය විශාල වශයෙන් වාර්තා කරයි. කෙසේ වෙතත් ගමන් බලපත්‍ර නිකුත් කරන ස්ථාන කාර්යබහුල වී ඇත. එයින් අඟවන කරුණ තරුණ පිරිස් අවස්ථා සොයාගෙන ලෝකය පුරා ගමන් කරන්නට ඇති පිපාසය බව වටහා ගත යුතුය. කැබිනට් තීරණයකට අනුව රජයේ සේවකයන්ට පවා වැටුප් රහිත නිවාඩු ගෙන විදේශ රැකියාවකට යා හැකිය. පසුගියදා කාන්තාවන්ට විදේශගතවීමට පනවා තිබුණු වයස් සීමා ලිහිල් කරන තීරණයක් කැබිනට් මණ්ඩලය ගෙන ඇති බව වාර්තා වේ.

2013 වසරේ දහහත් වියැති දැරියක සෞදි අරාබියට යවා සිදුවූ ඛේදවාචකයට පසු කාන්තාවන් විදේශ ගතවන වයස අවුරුදු 23 දක්වා නංවන ලද අතර සෞදි අරාබියට එය 25ක් සේ නියම කළේය. දැන් එය නැවතත් පොදුවේ අවුරුදු 21 දක්වා ආපසු හරවා තිබේ. කාන්තාවන් බහුලව යවන අවස්ථා ගැන සොයාබලන විට ගෘහ සේවිකා අංශය කැපී පෙනේ. පාකිස්තානය සහ පිලිපීනය බහුලව ගෘහ සේවිකා තනතුරු සඳහා කාන්තාවන් යවන ලද රටවල්ය. ඒවා දැන් පුහුණු ශ්‍රමිකයන් යවන රටවල් බවට නැඹුරුවී සිටී. පිලිපීනය වැඩිම හෙද සහ සාත්තු සේවිකාවන් යවන රට බවට පත්ව ඇති අතර එය වැඩි ආදායමක් උපයා ගත හැකි ගරුත්වයක් ඇති වෘත්තියකි. ශ්‍රී ලංකාවටද මෙවැනි පියවර සඳහා වසර ගණනක සිට යෝජනා කරන නමුත් අවධානයක් යොමුවී නැත.

විදේශ රැකියාවල නිරත පිරිස් එවන ලද විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හත ඉක්මවන ලද කාලයක් තිබිණි. 2021 වසරේදී එය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.4ක් තෙක් සහ මෙම අවුරුද්දේදී ඇමරිකානු ඩොලර් බිලියන 3.5 තෙක් අඩුවන අවදානමක් ඇති බව දක්වයි. රුපියල ආරක්ෂා කරගැනීම සඳහා මහ බැංකුවේ හිටපු බලධාරීන් අනුගමනය කළ ක්‍රමය හේතුවෙන් ඩොලර් අගය ස්ථාවර වූ අතර විගමනික පිරිස් නීිති විරෝධි ක්‍රමවලට මුදල් එවා වැඩි රුපියල් ප්‍රමාණයක් උපයා ගත් බව නොරහසකි. අදටත් එය නිසි මඟට ගැනීමට අපොහොසත් වී ඇත. විදේශගත මුදල් ගෙන්වා ගැනීමට වාණිජ බැංකු අතර තරගය වැඩි කළ යුතුය. වාණිජ බැංකු ඩොලර් ගෙන්වන දැන්වීම් පළකර ඒවාට ලංකාවේ දුරකථන අංක ප්‍රසිද්ධ කරයි. අඩුම තරමින් වට්ස් ඇප්, මැසෙන්ජර් වැනි අංක හ¾දුන්වාදී පැය විසිහතරම ක්‍රියාත්මක කරන්නට හෝ නොසිතන රටකට ඩොලර් ගෙන්වන්නට නීති විරෝධී ක්‍රම සමඟ තරග කළ නොහැකිය.

අපනයනයෙහි නිරත කුඩා ව්‍යවසායන් පත්ව ඇති ඉරණම

අපනයනය සඳහා සුරතල් මසුන් ඇතිදැඩි කරන සමාගම් දරුණු ප්‍රශ්නවලට මුහුණ පා සිටී. සුරතල් මත්ස්‍ය අපනයනයේදී ශ්‍රී ලංකාව දිනාගෙන ඇති වෙළෙඳපොළ සියයට දශම එකක්වත් නැත. අපනයනකරුවන් එය උපයාගත්තෙත් වැර වෑයමෙන්ය. ඕස්ට්‍රේලියාව වැනි රටවලට එරට මුදලින් ලක්ෂ ගණනින් ඇප තබන්නට සිදුවී තිබේ. වැර වෑයමෙන් දිනාගත් අංශ බිඳ වැටෙන්නට විදුලිය අර්බුදය හේතු වී ඇත. විදුලිය විසන්ධි වන විට ඔක්සිජන් අඩුවන අතර මසුන් විනාශ වේ.

ගුවන් ගමන් අවලංගු කරන අතර ගාස්තු වැඩිවන විට ලාභ තීරු පහත වැටේ. ඉල්ලුම අඩුවීම මත සැපයුම සියයට හැත්තෑ පහකින් පමණ කඩාවැටී ඇති බව මත්ස්‍ය ගොවිපොළ හිමියෝ කියති. මල් වගාව, කැපූ අතු හා විසිතුරු පත්‍ර අපනයනය විවිධ ගැටලු ඇති තැන්ය. වගාව සතියක් දෙකක් ප්‍රමාද වන විට පැළ මෝරයි. මසුන් විශාල වෙයි. පොහොර නැතිකම, මත්ස්‍ය ආහාරවල වියදම සලකන කල ව්‍යවසාය අත්හැර දමන්නට සිදුවේ. කුඩා ව්‍යවසායකයෝ බැංකුවලට ණය වී ඇති අතර ඒවා ගෙවාගත නොහැකිව සිටින බව බලධාරීන් දැනගත යුතුය.

බංග්ලාදේශය දුප්පත්ව සිටි රටකි. 2021-22 මූල්‍ය වසරේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ඉක්මවා ඇත. ඇඟලුම් අපනයනය ප්‍රධානම අංශයකි. ශ්‍රී ලංකාව විදේශ සංචිත බිඳුවට වැටී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක සීමාවේ පසුවන අතරවාරයේ බංග්ලාදේශයේ දර්ශනය කුමක්ද? හැකි හැම දෙයක්ම අපනයනය කරති. සලකා බලන මුල්‍ය වසරේදී සම්භාණ්ඩ, කෘෂි භෝග හා ගෘහස්ථව නිපදවන රෙදිපිළි විසිතුරු නිෂ්පාදන අපනයනය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගිය අලුත් අංශ බව දක්වයි. ශ්‍රී ලංකාව වසර එකසිය ගණනකට පසු පවා තවමත් තේ අපනයනය කරයි. එහි ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකි. විශාල ඉඩ ප්‍රමාණයක් යටකර දැවැන්ත ශ්‍රම වෙළෙඳපොළක් සහිතව තේ වගා කිරීමෙන් ලබාගත හැකි බිලියනයකින් පලක් තිබේද? අලුත් පැති ගැන හිතන පාලකයන් මේවා ගැන උනන්දු වීම වටී.

බලශක්ති අංශය ගැන අලුත් අවධානයක්

ලෝක ප්‍රකට ආයෝජකයකු වන අදානි සමාගම ශ්‍රී ලංකාවට පැමිණීම ගැන මෙරට අන්තවාදීහු විරුද්ධය. ශ්‍රී ලංකාවේ හිරු එළිය හෝ සුළඟ උදුරා ගැනීමට පැමිණ ඇති බව දක්වති. අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රධානියා සිය හැටවන ජන්ම දිනයේදී පෞද්ගලික ධනය ඇමරිකානු ඩොලර් බිලියන අටකට ආසන්න මුදලක් ප්‍රජා සේවා සඳහා පිරිනැමීය. ඔහුගේ මෙරට ආයෝජනය එයින් දහසයෙන් එකකි. එනම් ඇමරිකානු ඩොලර් මිලියන 500කි. මෙම ව්‍යාපෘතිය තවත් වැඩි කරන අතර රටට විදුලිය විකුණා ආදායමක් ලබාගත හැකි ක්‍රමයක් අදානි සමූහ ව්‍යාපාරය යෝජනා කරයි. මෙම ව්‍යාපෘතියට මෙරට විද්වතුන්ගේ සිට දේශපාලනඥයන් දක්වා සෑම කොටසක්ම එක හෙළා විරුද්ධවන බව නිසැකය. අලුත් ක්‍ෂේත්‍ර දියුණු කළහොත් ඒවායේ ආයෝජන නැංවීමට පියවරගතහොත් රටට අනාගතයක් තිබේ. විනිමය උපයන විකල්ප මාර්ග වහාම අනාවරණය කළ යුතුය. දුප්පත් කාන්තාවන් පිටරට යවා එම මුදලින් ලැබෙන විනිමයවලින් තෙල් ආනයනය කරන්නට සූදානම් වන රටකට අනාගත දැක්මක් නැත.

ඉතාම ඉක්මනින් විනිමය උපයාගත හැකි සංචාරක කර්මාන්තය හා විදේශගත ශ්‍රමය ගැන අවධානය යොමු කරන අතරවාරයේ විනිමය උපයන අලුත් පැති ගැන සාකච්ඡා කිරීම සුදුසුය. ආහාර නිෂ්පාදනයෙහි විශාල අවස්ථා ඇත. පිරිසුදු ජලය සඳහා වෙළෙඳපොළක් තිබේ. මුහුදු ආහාර තවත් පැත්තකි. ධීවර කර්මාන්තයට අමතරව මුහුදු පැළෑටී හා ජල ජීවීන් වගා කෙරේ. ඒවා අපනයනය කළ හැකිය. තොරතුරු තාක්ෂණ අංශය වැඩි දියුණු කළ හැකිය. මෘදුකාංග සංවර්ධනයට මෙරට තරුණයන් දක්ෂ අතර වැඩිහිටි ජන කොටස් පවා ජාලගත සේවාවලට ඇතුළත් කළ හැකිය.

එම අංශයන්හි සේවය කරන්නට පහසුකම් ඇතිකිරීම අවශ්‍ය කෙරේ. අපනයනය නංවන්නට යෝජනා කරන ශ්‍රී ලංකාව ඒවා අරඹන්නට බිම් මට්ටමේ ඇති අපහසුතා අධ්‍යයනය කරන්නේ නැත. අපනයනකරුවකු ලියාපදිංචියට, ‘ටින්’ නමැති විශේෂිත අංකයක් ලබාගැනීමට කොපමණ දුෂ්කරක්‍රියා කළ යුතුද යන්න වගකිව යුතු අංශ සොයා බැලිය යුතුය. මාධ්‍යවල තොරතුරු පළ කර අපනයන දිරිගන්වන අතර ආයෝජන කැඳවන බව ප්‍රකාශ කරන නමුත් මේවා ප්‍රායෝගිකව සිදුවෙන්නේ නැත. එයින් ගරා වැටෙන්නේ ආර්ථිකය බව අවබෝධ කරගත යුතුය. නිලධාරීන් තීරණ නොගන්නා අතර ඒවාට වගකිව යුතවන්නේ දේශපාලනඥයන්ය. ආණ්ඩුවේ බලධාරීන්ය. ඡන්දය, ව්‍යවස්ථාව, මනාප ආරක්ෂාකර ගැනීම ගැන කල්පනා කරන දේශපාලනඥයන් රට ඉදිරියට ගෙනයන තීරණ නොගැනීම අවාසනාවකි.

ශාමින්ද වත්තේගෙදර