අවුරුදු 28ක් පවුල් කෑ සැමියා එක් දරු පියෙක්

0
17

වසර 28ට පෙර විවාහ වී පෙරේදා (04 වැනිදා) දහවල් සැමියා මියගියාට පසු ඔහු පෙර විවාහයක් සිදු කරගෙන පිරිමි දරුවකු සිටින පියකු බවට 71 හැවිරිදි කාන්තාවක් දැනගෙන ඇතැයි කියන පුවතක් ඊයේ (05 වැනිදා) කෑගල්ල මහ රෝහලේදී වාර්තා වුණු බව කෑගල්ල පොලිසිය පැවැසීය.

මියගොස් ඇති පුද්ගලයා තැපැල් කාර්යාලයක තේරීම් භාර නිලධාරියකු ලෙස සේවය කර ඇති බවත් එම කාර්යාලයේ කෑගල්ල, බෙලිගල ප්‍රදේශයේ පුද්ගලයකුද එවකට සේවය කර ඇති බවත් පොලිසිය පැවැසීය. පසුව තේරීම් භාර නිලධාරියා මීට වසර 30කට පමණ ඉහතදී කෑගල්ල, බෙලිගල හිතවතාගේ නිවෙසට පැමිණි අවස්ථාවේදී තේරීම් භාර නිලධාරියා හිතවතාගේ බිරියට කෑගල්ල ප්‍රදේශයෙන් මනාලියක් සොයා දෙන ලෙස දන්වා ඇති බවත් පොලිසිය පැවැසීය.

පසුව බෙලිගල හිතවතාගේ බිරිය අසල්වැසි කාන්තාවකට මේ බව කියා අසල්වැසි කාන්තාවගේ කෑගල්ලේ ඇකිරියගල පදිංචිව සිටින අක්කාගේ දියණියක් වන බැංකුවක කළමනාකාරිනියකට විවාහකර දී ඇති බවත් පොලිසිය පැවැසීය. විවාහ උත්සව අවස්ථාවට මනාලයාගේ පියා පමණක් සහභාගි වී ඇති බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.

පසුව මනාල යුවළ මනාලියගේ මවට අයත් අක්කර 2ට වැඩි ඇකිරියගල ඉඩමේ නිවෙසේ පදිංචිව සිට ඇති බවත් දෙදෙනාට දරුවන් නොමැති බවත් පොලිසිය පැවැසීය. සරුසාරව වගා කර ඇති ඉඩමේ ඵලදාවෙන්, තේරීම් භාර නිලධාරියාගේ විශ්‍රාමික වැටුපෙන් හා කාන්තාවගේ ඉතිරි කර ගත් මුදල්වලින් දෙදෙනා ජීවත් වෙමින් සිට ඇති බවත් පොලිසිය පැවැසීය. දෙදෙනා ඥාතීන්, අසල්වැසියන් ඇසුරු කර නොමැති බවත් නිවෙසට ජනතාව පැමිණෙනවාට බල්ලන් පස් හය දෙනෙක් ඇති දැඩි කරමින් සිට ඇති බවත් පොලිසිය පැවැසීය.

ඉකුත් 04 වැනිදා විශ්‍රාමික නිලධාරියා දහවල් 12.15ට පමණ හිඳගෙන සිටි පුටුවේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි. පසුව බිරිය සිද්ධිය සම්බන්ධයෙන් වසමේ ග්‍රාම නිලධාරිවරයාටත් පසුව කෑගල්ල පොලිසියට පැමිණිල්ලක්ද කර තිබුණු බවත් පොලිසිය පැවැසීය.

පසුව කෑගල්ල නාගරික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය හා කෑගල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් කුමාර පාරඹේ (53469) නිලධාරියා පෙරේදා (04 වැනිදා) සවස දේහය තිබුණු නිවෙසට ගොස් මූලික විමර්ශන කටයුතු සිදු කර වැඩිදුරටත් පරීක්ෂණ සඳහා දේහය කෑගල්ල මහ රෝහලට රැගෙන යෑමට කටයුතු සිදු කර තිබිණි. එහිදී අසල්වැසියන් කිහිපදෙනෙක් හදිසි මරණ පරීක්ෂිකාවට කියා ඇත්තේ මියගොස් ඇති  නිලධාරියා මොරටුව ප්‍රදේශයේ කාන්තාවක් සමඟ විවාහ වී සිටින බවත් ඔහු දාව ඇයට එක් පිරිමි දරුවෙක් සිටින බවත්ය.

පසුව ඒ සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂිකාව මියගිය තේරීම් භාර නිලධාරියාගේ ඇකිරියගල බිරියගෙන් විමසා සිටි බව ඇය එවැනි දෙයක් තමන් නොදන්නා බවත් පැවැසූ බව පොලිසිය පැවැසීය. පසුව මියගිය තේරීම් භාර නිලධාරියාගේ මුදල් පසුම්බියේ තිබුණු මොරටුව බිරියගේ දුරකථන අංකයට ඇමතුමක් ගෙන සිද්ධිය සම්බන්ධයෙන් ඇයට දැන්වූ බවත් පොලිසිය පැවැසීය.

ඊයේ (05 වැනිදා) මියගොස් සිටින නිලධාරියා වෙනුවෙන් හදිසි මරණ පරීක්ෂණය හමුවේ ඇකිරියගල බිරිය පැමිණ මියගිය සැමියා වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දුන් අතර එහිදී ඇය මෙසේද පැවැසුවාය.

මීට පෙර අවස්ථා දෙකකදී සැමියාගේ පුතෙක් යැයි කියන තරුණයෙක් නිවෙසට  ආවා. ඔහු සමඟ තමාට කතා කිරීමට පුරුෂයා අවස්ථාව ලබා දුන්නේ නෑ. සැමියා විවාහ වී ඇති බව වසර 28ට පසුව මියගියාට පස්සේ මම දැන ගත්තේ් ඔහුට පුතෙක් සිටිනවා යැයි කිව්වාට මම විශ්වාස කළේ නෑ.

දමුණුපොළ – චමින්ද ජයලත්