අනේ කුහුඹුවනේ – තොපටත් රජෙක් ඉන්නේ

0
107

පාර්ලිමේන්තුව ගිනි කන්දක් මත ටෙනිස් ගහන්නට සැරසෙන බව විමල් වීරවංශ කීවේය. ආණ්ඩුව රටේ දැවෙන ප්‍රශ්න විසඳනු වෙනුවට යට ගහන බවක් පෙනේ. ප්‍රශ්න, අර්බුද විසඳීමට වඩා ඒවා යට ගැහිල්ල පහසුය. එවිට පිළිතුරු නැතත් ප්‍රශ්න ප්‍රශ්න ආකාරයටත් ගැටලු ගැටලු ආකාරයටත් අර්බුද අර්බුද ලෙසිනුත් තවදුරටත් පවතිනු ඇත. විය යුත්තේ එයද? නැත. අර්බුදය වහා විසඳිය යුතුමය. රට තවදුරටත් ප්‍රපාතයට වැටෙනු වළක්වාලිය යුතුය.

අද අප ලියන්නට යන්නේ ජන අරගලය යට කරන බල අරගලය ගැනය. රනිල් වික්‍රමසිංහට අගමැතිකම ලැබෙන්නේ එය භාරගන්නට ඉදිරිපත් විය යුතු අය පස්ස ගැහීම නිසාය. ඔහු අගමැතිකම භාරගෙන හුණුවටයේ නාටකයේ ගෘෘෂා අනුන්ගේ දරුපැටියා වඩාගෙන වැල්පාලමෙන් එතෙර වන්නට ගිය ජවනිකාව ජනගත කළේය. අදටත් ඔහු වැල්පාලමෙහිය. එතෙරවන බවක් නම් නොපෙනේ. කැබිනට්ටුවකුත් පත්කරගෙනය. මතුව තිබුණු අර්බුද සියල්ලම තවමත් තිබුණු විධියමය.

ඒවා තවදුරටත් මෝරා ගියා මිසක එකදු අර්බුදයක් විසඳී නැත. විදේශ ආධාර අපේක්ෂා කළත් තවමත් ඒවාද සාකච්ඡා මට්ටමේය. තෙල් නැව් තවමත් මෙහි එන්නට මාන බලමින්ය. ලැබී තිබෙන තෙල් ටිකට මිනීමරාගන්නට සැරසෙන සෙයකි. පෝලිම්වල දැන් හමුදා පාලනයකි. කිහිප තැනක පහරදීම්ය. අධිකරණයේද අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ගැටලුවක් විභාග වෙයි.

විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස අවුරුදු පහකට රට ඉල්ලන්නේ මෙහෙම පසුබිමකය. අනුරකුමාර මාස හයකට ඉල්ලයි. දැන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනුරට රට භාරගන්නැයි ඉල්ලීමක් කරයි. ඔහු පාර්ලිමේන්තුවේදීම ඒ ගැන කියා ඇත. ප්‍රකාශය අවංකවම කළා දැයි හරියටම කියන්නට බැරිය. එහෙම කළා නම් එහි වරදක්ද නැත. තමන්ට කිසිදු ජන අනුමැතියක් නැතිව ලැබුණු පදවිය දැන් ජනතාවට පිරිනමා තිබේ. අනුරට ජනතා කැමැත්ත තිබේ නම් එය භාර ගන්නට මේ හොඳම අවස්ථාවය. ඉතිහාසයේ බරපතළම අභියෝගය භාරගෙන රට ගොඩගෙන පෙන්වන්නට හොඳම අවස්ථාව දැන් එළැඹ තිබේ.

චන්ද්‍රිකා ජනාධිපතිනිය යටතේ අනුරලා රට භාරගෙන වැඩ කරන්නට ගිය හැටි අපට අමතකව නැත. අනුර කුමාරද ඒ ආණ්ඩුවේ අමාත්‍ය තනතුරක් භාරගෙන සිටියේය. වැව් හාරා ප්‍රතිසංස්කරණයට සැරැසුණු හැටිද අපට අමතකව නැත. පැත්තකට දමා තිබුණු ආණ්ඩුවේ වාහන ටිකක් විකුණා ආදායම් උපයන්නට සැරැසුණු හැටිද අපට මතකය. එහෙත් මේ එකක්වත් හරියට කෙරුණේ නැත. ජවිපෙ ආණ්ඩුවෙන් ඉවත්ව ගියේය. ඒ අතීතයේය. ඉවත්ව ගිය පසු සමහරුන් කියනු ඇසුණේ චන්ද්‍රිකාගේ සාරිපොට අස්සේ රිංගන්නට ගිය එක ඉතිහාසයේ ලොකුම වරද්දා ගැනීම බවය. අනුරලා සැරසෙන්නේ ආයෙත් ඒ වාගේ වරද්ද ගැනීමකටදැයි අපට දැන්ම කියන්නට පුළුවන්කමක් නැත.

ගෝඨාභය පාලනය යටතේ නම් අපට වැඩ කරන්නට පුළුවන්කමක් නැතැයිද අනුරකුමාර කියයි. ඒ කතාව සජිත්ද අවස්ථා කිහිපයක්ම කියා තිබේ. එහෙත් ගැටලුව ගෝඨා ලෙහෙසියෙන් ඉවත්ව ධුරය අතහැර දමා නොයෑමය. එසේ යෑම හැටනව ලක්ෂයක් ජනතාවගේ ඉල්ලීමට පිටුපෑමකැයි ඔහු පෙර අවස්ථාවක කියා තිබිණි. එහෙත් දැන් ගාලුමුව‍ෙදාර අරගලය දීපව්‍යාප්තව සක්‍රියව ඇති බව අරගලය පැත්තෙන් ඇසෙන කතාවය.

ගාලුමුව‍ෙදාර අරගල බිමද තවම අතහැර නැත. අරගලයේ පළමු අදියරේ ප්‍රතිඵල රට හමුවේ විද්‍යමානව ඇත. එහෙත් කලක සිට ඇතිකළ අර්බුදයට ක්ෂණික විසඳුම් නැති බව කවුරු කවුරුත් කියති. අගමැති රනිල් වැල්පාලමේ ගීතය සිහි කරමින් කීවේද ඒ කතාවමය. මට මේ වැඩේ කළ හැකියි. හැබැයි කල් යාවි. රටේ ජනතාවට ඒ කතා දිරවන්නේ නැත. ගැටලුව වහා විසඳා මේ රටේ පුරවැසියන්ට කඩිනමින් සහන අවශ්‍යය. අඩු කරමින් තුන්වේලක් නොව දෙවේලක් හෝ කා බී  සතුටින් ජීවත් වන්නට ඉඩකඩ සැලසිය යුතුය.

දේශපාලනඥයන් මෙන්ම පුරවැසියන්ද අව්‍යාජව ක්‍රියා කළයුතු යුගයකි මේ. එසේ නොවන තාක් කල් ජනතාවගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වනු ඇත. ගෝඨාභය බලයට පත්කරන්නට ඡන්දය ප්‍රකාශ කළ හැටනව ලක්ෂයක් ජනතාව අතරින් වැඩි පිරිසක් දැන් ඔහුගේ අභිනිෂ්ක්‍රමණය අපේක්ෂා කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් හිමිකොට දී තිබෙන වරප්‍රසාද හා මුක්තිය දැන් ප්‍රශ්න කිරීමට ලක්කොට තිබේ. මේ ඉතිහාසය කණපිට හැරෙමින් තිබෙන මොහොතකි.

මේ සටහන අවසන් කරන්නට උපහැරණ කතන්දරයක් එක් කිරීම මැනවැයි හැඟේ. කතාවේ හැටියට ළිඳක මැඩි රැළක් එකතු වී මැවුම්කාර දෙවියන්ගෙන් සුදුසු පාලකයෙක් ඉල්ලති. අසල තිබූ දිරාගිය ගසක අතු කැබැල්ලක් ළිඳට අතහැර මෙන්න හොඳ පාලකයෙක් කියා මැවුම්කාර දෙවියෝ මැඩි රැළ සනසති. මැඩි රැළ දර කෝටුව මතට නැඟ ළිඳ වටා රවුම් ගසති. කවුද මේ පාලකයා පිට උඩ නඟින්නත් පුළුවන්. මෙහෙම පණ නැති පාලකයන් අපට මොකටද? මැඩි රැළ අසති.

මැවුම්කාර දෙවියන් හමුවී යළි හොඳ පාලකයෙක් ඉල්ලති. දැන් ඉතින් දෙන්නම් උඹලට කදිම පාලකයෙක් කියූ මැවුම්කාර දෙවියා අසල දිය වළක සිටි දිය නයෙක් ළිඳට අතහරී. දිය නයා ළිඳේ සිටි මැඩි රැළ එක එකා අල්ලාගෙන හපා කා ළිඳම සුද්ද කළේය. මේ කතාවෙන් රටට සුදුසු පාලකයා කවුරුදැයි ඉඟි කරයි. රටට අවශ්‍ය, අර්බුදය කඩිනමින් විසඳාලිය හැකි දක්ෂ පාලකයෙකි. එවැනි දක්ෂ පාලකයකුට කදිම අවස්ථාවකි මේ.