හැංගූ තෙල් වටලන්න ගිය පොලිස් නිලධාරීන්ට බාධා කළ 4ක් අත්අඩංගුවට

0
18

මාතලේ, වරකාමුර ප්‍රදේශයේදී වැඩි මිලට ඉන්ධන ගබඩා කර තිබූ බව කියන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන්ට බාධා කරමින් ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් හය දෙනකු 04දා අත්අඩංගුවට ගත් බව මාතලේ මූලස්ථාන පොලිසිය කීය.

ප්‍රදේශයේ වැඩි මිලට ඉන්ධන විකුණන බවට ලැබුණු තොරතුරක් අනුව මාතලේ මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් එම ස්ථානය වැටලීමට ගිය අවස්ථාවේදී එම ස්ථානයේ පෙට්රල් ඇතුළු ඉන්ධන තිබී ඇති බවත් පරීක්ෂණ සිදු කරන අවස්ථාවේදී එක් පුද්ගලයකු විසින් පෙට්රල් බෝතලයක් කඩා විසිකර ඇති අතර තවත් අයකු විසින් ඊට ගිනි තබා ඇති බවත් එහිදී ඇති වූ ගින්නෙන් පුද්ගලයකු තුවාල ලබා ඇති බවද පොලිසිය කීය.

මාතලේ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. එස්.පී.එම්. තිලකවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පුළුල් පරීක්ෂණයෙන් පසුව පුද්ගලයන් හය දෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.

ගින්නෙන් ඉන්ධන ගබඩා කර තිබූ ප්‍රදේශය විනාශ වී ඇති බවද පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව අයුතු ජනරාශිය, අඩන්තේට්ටම් කිරීම්, සාපරාධී බියගැන්වීම්, මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම්, පොදු දේපළ ඇතුළු චෝදනා රැසක් යටතේ අධිකරණයේ නඩු පවරන බවද පොලිසිය කීය.

සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

මාතලේ කොට්ඨාසය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ අධීක්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්.පී.එම්. තිලකවර්ධන, උ.පො.ප. ඇනස්ලි රේමන්, උ.පො.ප. ඩබ්.ජී. ඒකනායක, පො.සැ.  බණ්ඩාරනායක (6922), පො.සැ. විපුල (45396), පො.සැ. විජේතුංග (36705), පො.කො. කරුණාරත්න (66784) යන නිලධාරීහු මෙම පරික්ෂණය පැවැත්වූහ.

යටවත්ත – මහේෂ් රුවන්