ශේ්‍රෂ්ඨාධිකරණය ආණ්ඩුවෙන් තෙල් බෙදන සැලැස්ම ඉල්ලයි

0
110

දිනෙන් දින උග්‍ර වෙමින් පවතින ඉන්ධන අර්බුදය විසඳීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා ඒවා බෙදාහැරීමේදී අනුගමනය කරනු ලබන ප්‍රමුඛතා අනුපිළිවෙළ දැක්වෙන යෝජිත සැලැස්මක්ද මේ මස 12 වැනි දින වන විට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයට නියෝග කළ ශේ්‍රෂ්ඨාධිකරණය ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

විජිත් කේ. මලල්ගොඩ,  මහින්ද සමයවර්ධන හා අර්ජුන ඔබේසේකර යන ශේ්‍රෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් එකී නියෝග නිකුත් කරනු ලැබීය.

ශේ්‍රෂ්ඨාධිකරණය එම පියවර ගනු ලැබුවේ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා නීතිඥ සංගමය විසින් ගොනුකරනු ලැබ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඊයේ (04දා) කැඳවුණු අවස්ථාවේදීය. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ ජනාධිපති නීතිඥ කේ. කානග් ඊශ්වරන් විසින් පෙත්සම් වෙනුවෙන් දීර්ඝ වශයෙන් විනිශ්චය මණ්ඩලය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ අද දවස වනවිට රට පුරා බරපතළ අර්බුදයක් බවට ‘ඉන්ධන හිඟය’ පත්ව ඇති බවත් දින ගණන් නොව සති ගණන් පෝලිම්වල රැඳී සිටියද තම ඉන්ධන අවශ්‍යතාව සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් මත ජනතාව බරපතළ කායික මෙන්ම මානසික පීඩාවන්ටද පත්ව ඇති බවත් ඒ තත්ත්වය හේතුවෙන් එකිනෙකා මරා ගැනීමට තරම් බරපතළ ප්‍රකෝපකාරී පරිසරයක් නිර්මාණය වී ඇති බවත්ය.

රජය විසින් නිසියාකාර ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා නොතිබීම නිසා නියමිත වේලාවට රටට අවශ්‍ය ඉන්ධන සපයා ගත නොහැකිවීම ප්‍රධානතම අර්බුදකාරී තත්ත්වය බවත් නියමිත සැලැස්මකින් තොරව විටින් විට ලැබෙන තෙල් තොග ඉන්ධන ගබඩාවලට කුමන මොහොතේදී ලැබෙනවාද යන්න ගැන පැහැදිලි දැනුම්දීමක් නොවීම නිසා මෙලෙස දින, සති ගණන් කුසට අහරක් පවා නොමැතිව තම වාහන පෝලිම්වල තබාගෙන රස්තියාදු වීමේදී ඇතිවන අසහනකාරී තත්ත්වය මත විවිධාකාර ගැටුම් හටගන්නා බවත් මෙහිදී ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කියා සිටියේය.

ජනාධිපති නීතිඥ කානග් ඊශ්වරන් මහතා කියා සිටියේ රජයට නිසියාකාර වැඩපිළිවෙළක් නොතිබීම නිසා මෙම සියලු අර්බුද පැන නැඟී ඇති බවත්ය.

මෙහිදී නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා කියා සිටියේ රජය නිසි ක්‍රමවේදයක් මේ සඳහා සකසා ඇති බවත් එය ක්‍රියාත්මක වීමේදී පෙත්සම් පාර්ශ්වය විසින් සඳහන් කරනු ලබන තත්ත්වයන් සමනය වනු ඇති බවත්ය.

විනිසුරු මඬුල්ලේ ප්‍රධාන විනිසුරු විජිත් කේ. මලල්ගොඩ මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රජය විසින් සකස්කොට ඇති එකී ඉන්ධන බෙදාහැරීමේ වැඩපිළිවෙළ මෙන්ම ඒවා බෙදාහැරීමේදී අනුගමනය කරනු ලබන ප්‍රමුඛතා පිළිවෙළ ඇතුළු සියලු තොරතුරු අඩංගු වාර්තාවක් මේ මස 12 වැනි දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා වගකීම භාරගත යුතු බවය.

ජනාධිපති නීතිඥ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ මහතා නීතිපතිවරයා වෙනුවෙන් එම වගකීම භාරගත් අතර ඒ අනුව විනිසුරු මඬුල්ල පෙත්සම් විමසුම් ලබන 14 වැනි දිනට කල් තබනු ලැබීය.

කමල් මහේන්ද්‍ර වීරරත්න