පාර්ලිමේන්තුව ගිනි කන්දක් උඩ ඉඳගෙන ටෙනිස් ගහනවා

0
87

රට අර්බුදයෙන් අර්බුදයට නොයවා වහාම පක්ෂ එකතු වී සාකච්ඡා කොට සර්ව පාක්ෂික පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් රටේ ජනතාවගේ සහ. ජාත්‍යන්තර විශ්වාසය දිනාගන්නා වැඩපිළිවෙළකට යා යුතු බවත් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි විමල් වීරවංශ ඊයේ (04දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය. එසේ නොකර පරණ ප්‍රශ්නවලට උත්තර දෙමින් පාර්ලිමේන්තුව ගිනි කන්දක් උඩ වාඩි වී ටෙනිස් බෝල ගසන බව මන්ත්‍රිවරයා කීය. “අද අප පාර්ලිමේන්තුව රැස් වන්නේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නොවේ. මුළු රටේම ඉන්ධන නැතිව ජනතාව ස්වයං ඇඳිරි නීතිය දාපු තත්ත්වයකට පත්වී තිබෙනවා.

අයි.ඕ.සී ෂෙඩ් ගාව කිලෝමීටර් ගණන් දිග වාහන පෝලිම් ඇති වී තිබෙනවා. මන්ත්‍රිවරුන් වුණත් ගමනක් ගියොත් ආපහු එන්න විධියක් නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී සභා ගැබේ අගමැතිවරයා හෝ බලශක්ති ඇමැතිවරයා ඉන්නවා යැයි පෙනෙන්නට නැහැ. රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්න නැහැ. මිනිසුන් බරපතළ පීඩාවක පෙළෙනවා. ජනතාවගේ පීඩාවට විස¾දුමක් පේන තෙක් මානයක නැහැ. මේ තිබෙන පාලන තන්ත්‍රය ගැන ජාත්‍යන්තර විශ්වාසයක් නැහැ.

මේ අර්බුදයෙන් අර්බුදයට උත්සන්න වෙන්නට නොදී කරුණාකර පක්ෂ ටික එකතු වී සාකච්ඡා කොට සහ සර්ව පාක්ෂික පාලනයක් ස්ථාපිත කොට රටේ ජනතාවගේ සහ ජාත්‍යන්තර විශ්වාසය දිනාගන්න වැඩපිළිවෙළකට යමු. එහෙම නොකර පරණ ප්‍රශ්නවලට උත්තර දිදී ඉඳලා වැඩක් නැහැ. අප ගිනි කන්දක් උඩ  ඉඳගෙන ටෙනිස් බෝල ගහනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,

“සියලු පක්ෂ එකතු වී මේ ගැන සාකච්ඡා කරන්න අප සූදානම්.”

කථානායක මහින්ද යාපා අබේවර්ධන,

“අප අද භාරගත් වැඩේ කරමු. ඊට පස්සේ විවාද කරමු.”

මන්ත්‍රි විමල් වීරවංශ,

“මේක දිහා බලාගෙන ඉන්නකොට මිනිස්සුන්ට මේ මොකක්ද කියලා හිතෙනවා. අසංවේදී පාර්ලිමේන්තුවක් බව පෙන්වීම අපේ වගකීමක්ද? අපි ඔක්කොම එකට එකතු වී මේ තත්ත්වය බේරා ගැනීම සඳහා කටයුතු කරමු. එසේ නැතිව අල, බතල ගැන කතා කරලා වැඩක් නැහැ.”

සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,

“සර්ව පාක්ෂික ආණ්ඩු ගැන කතා කරනවා. විපක්ෂ නායකට අගමැතිකම භාරගන්න කිව්වා. එ්ක ගත්තේ නැහැ. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ගත්තා. විපක්ෂ නායක නෑ කියනවා නම් දීපු ලියුම මම සභාගත කරන්නම්.

වෙන්නේ මොකක්ද විමල් ඇමැතිතුමා ඇහුවා. ලංකාවේ පොහොර ප්‍රශ්නයක් තිබුණා. ගෑස් ප්‍රශ්නයක් තිබුණා. තෙල් නැති ප්‍රශ්නයක් තිබුණා. බෙහෙත් නැති ප්‍රශ්නයක් තිබුණා. මේ එකක් වත් අපිට අදාළ වන්නේ නැහැ.”

කථානායක මහින්ද යාපා අබේවර්ධන,

“ඔබතුමාලා මේක කරගෙන යන්න දෙන්නේ නැතිනම් සභාවේ කටයුතු නතර කරනවා.”

සභා නායක දිනේෂ් ගුණවර්ධන,

“පාර්ලිමේන්තුව ආරාජික කිරීමට ඇතැමුන්  නොදැනුවත්ව උදවු වෙන බව මතක තබා ගන්න.”

අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි