එක්දින තරගාවලියේ ජයත් වේලාසනින්ම ඉන්දියාවට

0
23

ඉන්දීය කාන්තා පිලේ ශ්‍රී  ලංකා තරග සංචාරය වෙනුවෙන් පැවැත්වෙන එක්දින තරගාවලියේ ඊයේ (4දා) පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයක් හිමිකර ගත් ඉන්දීය පිල තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය තරග 2-0ක ලෙස ජයගැනීමට සමත් විය.

මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම දෙවැනි තරගයේ පළමුව ලකුණු රැස්කළ ශ්‍රී  ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 50ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කළ ලකුණු 173ට පිළිතුරු සැපයූ ඉන්දීය පිල පන්දුවාර 25.4කදී කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සපුරා ගත්හ. කෙසේ වෙතත් කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ කිසිදු කඩුල්ලක් නොදැවී හඹා ගොස් ජයගත් ඉහළම ඉලක්කය ලෙසින්ද මෙය වාර්තා අතරට එක්වීම කැපී පෙනිණි.

ශ්‍රී ලංකාවෙන් එල්ල වූ ලකුණු 174ක ඉලක්කය හඹා යෑමේදී ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් නොබිඳුණු ආරම්භක සම්බන්ධතාවක් ගොඩනැඟූ ශෆාලි වර්මා සහ ස්මිර්ති මන්දනා ඉන්දීය පිල ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය. එහිදී ස්මිර්ති මන්දනා පන්දු  83කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 94ක් රැස්කළ අතර, ශෆාලි වර්මා පන්දු 71කදී නොදැවී ලකුණු 71ක් රැස්කරගත්තේ හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමඟිනි.

කෙසේ වෙතත් කාසියේ වාසිය දිනූ ඉන්දීය කාන්තා පිලේ ආරාධනයෙන් පළමුව ලකුණු  රැස්කළ ශ්‍රී  ලංකා ඉනිමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක වීමටත් පෙර පළමු කඩුල්ල ලෙස හසිනි පෙරේරා ලකුණු නොලබා දැවී ගියාය. ඉන් අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වෙද්දී ලකුණු 3ක් ලබා සිටි විශ්මි ගුණරත්න දවා ගැනීමට රේණුකා සිං සමත් වූ අතර, ශ්‍රී ලංකා ලකුණු පුවරුව 11ක් වෙද්දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු නොලබා තෙවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූවාය.

ඉන් අනතුරුව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ නායිකා චමරි අතපත්තු සහ අනුෂ්කා සංජීවනී ලකුණු 31ක් එක් කළද චමරි ලකුණු 27කට දැවී යෑමත් සමඟින් එම සම්බන්ධතාව බිඳවැටුණේ ශ්‍රී  ලංකාවේ සියලු බලාපොරොත්තු බො¼ද කරමිනි. එම දැවී යෑමෙන් අනතුරු අනුෂ්කා සංජීවනී ද ලකුණු 25ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙද්දී 6 වැනි කඩුල්ල බවට පත්වූ කවීෂා දිල්හාරි ද ලකුණු 5ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවූවාය.

එසේ වුවද 7 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අමා කාංචනා සහ නිලක්ෂි ද සිල්වා එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී  ලංකා ඉනිම යම් ගෞරවනීය ස්ථානයක් දක්වා රැගෙන යෑමට උර දුන්නාය. නිලක්ෂි ලකුණු 32ක් ලබා සිටියදී 7 වැනි කඩුල්ල ලෙසත්, ඔෂධී රණසිංහ ලකුණු 10කට 8 වැනි කඩුල්ල ලෙසත් දැවී ගියාය. ස්ටම්ප් කිරීමකට හසුවූ ඉනෝකා රණවීරට රැස්කරගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. අචිනි කෞෂල්‍යා ලකුණු ලබා ගැනීමට පෙර දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබිණි. වගකීම් සහගත පිතිකරණයක් දියත් කළ අමා කාංචනා පන්දු 83කදී නොදැවී 47ක් ලබාගත්තාය.

ඉන්දීය පිල වෙනුවෙන් පන්දු යැවීමේදී රේණුකා සිං කඩුලු 4ක් බිඳහෙලූ අතර මේඝනා සිං සහ දීප්ති ෂර්මා කඩුලු 2 බැගින් බිඳහෙළීය.

ලකුණු පුවරුව

ශ්‍රී  ලංකාව

හසිනි පෙරේරා ප. රේණුකා           00

විශ්මි ගුණරත්න ප. රේණුකා         03

චමරි ඇ. වර්මා ප. මේඝනා            27

හර්ෂිතා ක.මු.ක. ප. රේණුකා        00

අනුෂ්කා සංජීවනී දුවද්දී දැවී ගියා    25

නිලක්ෂි ඇ. ශර්මා ප. මේඝනා       32

කවීෂා දිල්හාරි දුවද්දී දැවී ගියා       05

අමා කාංචනා නොදැවී      47

ඕෂධී ඇ. ශර්මා ප. රේණුකා          10

ඉනෝකා රණවීර ස්ටම්ප් ප. ශර්මා 06

අචිනි ඇ. ඩියොල් ප. ශර්මා           00

අතිරේක            18

මුළු ලකුණු

(පන්දුවාර 50කදී සියලුදෙනා දැවී) 173

පන්දු යැවීම –

රේණුකා සිං 10-1-28-4

මේඝනා සිං 10-0-43-2

රාජේෂ්වරී ගයික්වාඩ් 102-24-0

දීප්ති ෂර්මා 10-0-30-2

ඉන්දියාව

ශෆාලි වර්මා නොදැවී      71

ස්මිර්ති මන්දනා නොදැවී 94

අතිරේක            09

මුළු ලකුණු

(පන්දුවාර 25.4කදී කිසිවෙකු නොදැවී)       174

පන්දු යැවීම _

අචිනි කෞෂල්‍යා 5-0-24-0

ඕෂධී රණසිංහ 5-0-36-0

අමා කාංචනා 3.4-0-33-0

ඉනෝකා රණවීර 6-0-42-0

කවීෂා දිල්හාරි 3-0-18-0