අනුගත වීමෙන් සැනසීම ලැබෙයිද?

0
79

කන්න බොන්න නැතත් ඉන්න රටක් ඕනෑ කියන සංකල්පය මෑත ඉතිහාසය තුළදී ශ්‍රී ලංකාව පුරා පැතිර ගියා ඔබට මතක ඇති. ඒත් එක්කම ලස්සන පරිසරයක තියෙන කටු මැටි ගහපු පුංචි ගෙදරක ඡායාරූපයක් එක්ක සරල භාවයත් ඒ වගේ නිවෙසක ජීවත්වීමේ ආනිශංස පිළිබඳව දීර්ඝ රචනාත් ලියැවුණා. නමුත් අපේ භාෂාවෙන් කියනවා නම් ඒ කරුණු දෙකම අමුම කට්ටක්.

ඒ වගේ පැල්පතක ජීවත් වූ කිසිදු පුද්ගලයෙක් නැවතත් එවැනි ජීවිතයක් ලබන්න හෝ එවැනි අත්දැකීමක් ලබන්න කැමැති වන්නේ නැහැ. කරුණු කාරණා එහෙම වුණත් වර්තමානය වනවිට සෑම පුරවැසියකුටම පාහේ දරුණු ආකාරයෙන් කට්ට කන්න සිදුවෙලා තියෙනවා. විශේෂත්වය තමයි කලින් සරල ජීවිතයක ආනිසංස පිළිබඳව රචනා ලියපු උදවියටත් කට්ට කන්න සිදුවී තිබීම. හැබැයි ඒ රචනා ලියපු තරම් කැමැත්ත ඇතිව කන කට්ටක් නම් නෙවෙයි.

ඔබ තරමක වයස්ගත පුද්ගලයකු සමඟ සතුටු සාමීචි කතාබහක යෙදෙන විට ඔවුන් කියන කතා අතරට එවකට භාණ්ඩ මිල පිළිබඳව සඳහන් කරනවා අසා ඇති. මේ වනවිට වයස අවුරුදු 47ක පුද්ගලයෙක් ඔහුට මතක ඇති අඩුම පාන් මිල සම්බන්ධව පැවැසුවේ ශත 25කට පාන් රාත්තලක් මිලදී ගත් බවට මතක ඇති බවයි. නමුත් වර්තමානය වනවිට එහි මිල රුපියල් 170ක් පමණ වනවා. මෙම කාලයත් සමඟ මිල වැඩි වීම සරලව උද්ධමනය ලෙස හැඳින්විය හැකියි.

ශ්‍රී ලංකාව මේ වනවිට උද්ධමනයෙන් දැඩිව බැටකන රටක්. 2021 සැප්තැම්බර් මස 5.7ක්ව පැවැති උද්ධමනය 2022 ජුනි මස වනවිට 54.6ක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේකෙ තේරුම තමයි ශ්‍රී ලංකාව ඉතාමත් වේගයෙන් අධි උද්ධමනයක් කරා ගමන් කරනවා කියන එක. රුපියල් 117ක්ව තිබූ පෙට්රල් ලීටරය රුපියල් 500 ඉක්මවා යන්නත් රුපියල් 80කට පමණ පැවැති සහල් මිල රුපියල් 300කට ආසන්න වෙන්නත් උද්ධමනය හේතු වෙලා තියෙනවා. අනෙකුත් භාණ්ඩ සහ සේවාවන්ටත් මේ නීතිය අදාළයි. ඒ නිසයි රට පුරා සෑම තැනකම පෝලිම් ක්‍රමය දකින්න පුළුවන් වෙන්නෙ.

පෝලිම් ක්‍රමය සහ මිල අධික ලෙස ඉහළ යෑමත් සමඟ වෙළෙඳපොළ තුළ කළුකඩ නිර්මාණය වීම, වංචාවන් සොරකම් බහුල වීම වැනි තත්ත්වයන් දැකිය හැකියි. බොහෝ පිරිස් මෙවැනි තත්ත්වයන්ගෙන් අනිසි ප්‍රයෝජන ලබාගැනීමට පෙළඹීම වැළැක්විය නොහැකි දෙයක්. එකිනෙකා තනි තනිව අනෙකා සම්බන්ධව සහකම්පනයක් ඇතිව කටයුතු කිරීමෙන් පමණක් යම් පාලනයක් ඇති කරගත හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ වුවත් රජය වගකීම් සහගතව කටයුතු නොකරන තාක්කල් ගැටලුවට විසඳුම් සෙවීම් උහට කරුණක්. ලංකාව තුළ ඇතිවන සෑම ගැටලුවකදීම ජනතාව ඉතාමත් ඉක්මනින් ඊට අනුගත වීමක් දකින්න පුළුවන්. බොහෝ දෙනා තමන්ගේ අයිතීන් පිළිබඳව දක්වන්නේ උදාසීන ආකල්පයක් වීම ඊට හේතුව ලෙස දක්වන්න පුළුවන්. මේ කාරණාව සම්බන්ධව පැතිකඩ දෙකකින් සාකච්ඡා කළ හැකියි.

පළමු කාරණාව ජීවත් වීම සඳහා අවශ්‍ය කටයුතු කරගැනීම සඳහා විකල්ප භාවිතයන්ට නැඹුරු වීමයි. දෙවැන්න පවතින ගැටලු සඳහා විසඳුම් සෙවීමට රජයට බලකිරීම සඳහා අවශ්‍යතාවක් නොමැති වීමයි. මේ කරුණු දෙක අනුව ගැටලු සඳහා අනුගත වීම පිළිබඳව සාකච්ඡා කළ හැකියි.

මෙම තත්ත්වය රටක උද්ධමනය නිසා සහ අසාර්ථක පාලනය නිසා ඇති වූ තත්ත්වයක් වුවත් තමන්ගේ ජීවිතය සහ තමන්ගෙන් යැපෙන පවුලේ සාමාජිකයන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම සඳහා බොහෝ පිරිස් විකල්ප භාවිතයන් සඳහා යොමුවී සිටිනවා. උදාහරණයක් ලෙස තමන්ගේ වාහනයට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම නිසා රැකියාවට යා නොහැකි පිරිස් පාපැදි භාවිතයට යොමු වී සිටිනවා. ඒ ඔවුන්ට වෙනත් විකල්ප නොමැති වීම නිසයි. යුරෝපා රටවල මෙන් නෙවෙයි ශ්‍රී ලංකාව වැනි සමකාසන්න රටක පාපැදි භාවිතය පිළිබඳව ඇතිකරන්නේ එතරම් ප්‍රසන්න හැඟීමක් නෙවෙයි. නමුත් විකල්ප නොමැති නිසා පාපැදිය තෝරා ගැනීමට සිදුවෙනවා.

මේ රටේ ජනතාව විකල්ප භාවිතයන්ට යොමුවීම පිළිබඳව ඇතැම් පිරිස් චෝදනාත්මකව කතා කළත් වෙනත් කළයුතු යමක් නොමැතිවීම නිසා අදාළ විකල්ප සඳහා යොමුවී ඇති බව සිතිය යුතුයි. විකල්ප භාවිතයන්ට යොමු වූ ජනතාව තමන්ට මෙම තත්ත්වය උදාවූයේ කුමන කරුණු කාරණා නිසාද යන්න පිළිබඳව අවබෝධ කොටගෙන එම තත්ත්වයන් වෙනස් කිරීම සඳහා කටයුතු කළයුතු වෙනවා.

එහෙම නොවුණොත් මේ පාලකයන් සිටිනතාක් විකල්ප භාවිතයන් මත යැපීමට සිදුවේවි. මෙවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයකදී වුවත් නිසි බලධාරීන් කටයුතු කරන්නෙ ඉතාමත් නිද්‍රාශීලී අයුරින් බව පෙනෙන්නට තිබෙනවා. ට්විටර් පණිවුඩ තබමින් සහ මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ඔවුන් විසින් මෙම තත්ත්වය පවත්වාගෙන යනවා විනා විසඳුම් සෙවීම පිළිබඳව ප්‍රමාණවත් දායකත්වයක් දක්වන බවක් පෙනෙන්නට නැහැ. ඔවුන් විසින් මෙම තත්ත්වය හේතුවෙන් ඇතිවන ජනතා නැඟිටීම් පාලනය කිරීම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බවක් දැකිය හැකියි. ප්‍රධාන වශයෙන් ජනතාවගේ සමඟිය බිඳ හෙළීම තුළින් ජනතා නැඟිටීම් වළක්වා ඇති ආකාරයක් දැකිය හැකියි.

රජය විසින් උපක්‍රමශීලීව ජනතාව අත්‍යවශ්‍ය සහ අත්‍යවශ්‍ය නොවන ලෙස කාණ්ඩ දෙකට බෙදා අවසන්. එහි ප්‍රතිඵල ඔබ මේ වනවිටත් නිරීක්ෂණය කර ඇති. ඉන්ධන පෝලිම්වලදී වෛද්‍යවරුන්ට සහ අනෙකුත් රජයේ සේවකයන්ට පහරදීම මෙන්ම රජයේ සේවකයන්ට සිකුරාදා දිනය නිවාඩු දීම සහ සීමිතව රාජකාරි සඳහා ගෙන්වීම තුළින් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර නොරිස්සුම් සහගත තත්ත්වයක් සහ අමනාපයක් ඇතිකොට අවසන්.

ජනතාව විසින් රජය මේ සිදුකරන ක්‍රියාවන් සම්බන්ධව නිසි අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යයි. සෑම පුද්ගලයකුම තමන්ගේ නිවෙසට සහ යැපෙන්නන්ට අත්‍යවශ්‍ය සේවයක්. එබැවින් කිසිදු අයකු අනවශ්‍ය සේවකයකු නෙවෙයි. උදාහරණයක් ලෙස මෙරට ක්‍රියාත්මක ඇඟලුම් සේවය මේ තරමින් හෝ ක්‍රියාත්මක නොවුණා නම් මේ තත්ත්වය ඉතාමත් බරපතළ වෙනවා. ඒ අනුව ඇඟලුම් ක්ෂේත්‍රය ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවක්. අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධව තත්ත්වයත් ඒ හා සමානයි.

ජනතාව වශයෙන් මේ සම්බන්ධව කළ හැකි කාර්ය වන්නේ අර්බුදයන් සම්බන්ධව විකල්ප භාවිතයන්ට යොමුවීම මෙන්ම මෙම තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ප්‍රමාණවත් දායකත්වය සපයන ලෙස රජයට බලකිරීම පමණයි. මේ මොහොත තුළ වඩා වැදගත්ම අත්‍යවශ්‍ය සේවය වන්නේ ජනතාව සංවිධානය වී රජය නිසි මාර්ගයට යොමු කිරීමයි. ඒ අනුව සෑම අරගලකරුවෙක්ම තමන්ගෙන් අෑත්වී ගිය අනෙකුත් අරගලකරුවන් ඉතාමත් ඉක්මනින් ගෙන්වා ගතයුතු වෙනවා. එය ජනතාවට මේ මොහොතේ ඇති හොඳම විකල්පයයි.

චතුරංග හතුරුසිංහ