“IMF ගිවිසුමට පෙර දූෂණය පිටුදකින වැඩපිළිවෙළක් ඕනෑ”

0
257

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග ගිවිසුම්වලට එළඹීමට පෙර වංචාව, දූෂණය පිටුදැකීමේ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ කළ යුතු යැයි අමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කරයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් එම කමිටුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධිපත්‍ය හා නීතියේ ආධිපත්‍ය ආරක්ෂා වෙන වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යුතු බව සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව සමග, යම්කිසි එකඟතාවකට පැමිණිය යුත්තේ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීමේ දූෂණ මැඩලීම සඳහා ශක්තිමත් පියවර ගැනීමත්, නීතියේ ආධිපත්‍ය සුරැකීමත් යන කරුණු සම්පූර්ණ කරන්නේ නම් පමණක් බව ඇමරිකා සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව පවසයි.

එම වැදගත් පියවර සම්පූර්ණ කර ගැනීමෙන් තොරව ශ්‍රී ලංකාව පාලනයෙන් තොර ණය බරින් හා දුර්වල ආර්ථික කළමනාකරණයෙන් තවදුරටත් පීඩා විඳිනු ඇති බව ද විදේශ සබඳතා කමිටුව පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයකට පිළිතුරු වශයෙන් අමෙරිකා සෙනට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව වැඩපිළිවෙළෙහි අරමුණු, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යළි ස්ථාවර කිරීමත්, දූෂණ අවදානම මැඬලීම සඳහා නව ප්‍රතිසංස්කරණ එක්කිරීමත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.

  • අමිත් මධුරංග ගමගේ