නුවරඑළියේ සිට කොළඹට එළවළු ප්‍රවාහනය කරන ලොරිවලට යුද්ධ හමුදාවෙන් ඩීසල් (PHOTOS)

0
492

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹ මැනිං වෙළෙඳපොළ ඇතුළු අනෙකුත් පළාත්වල ආර්ථික මධ්‍යස්ථාන වෙත දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථ සඳහා නුවරඑළිය ශ්‍රී ලංකා 3 වන සිංහ රෙජිමේන්තු යුද්ධ හමුදා කදවුරෙන් ඩීසල් නිකුත් කිරීම ඊයේ (ජූලි 1) දින සිට ආරම්භ කළ බව සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පවසයි.

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට දිනපතා එළවළු ප්‍රවාහනය කරන ලොරි රථවල ලැයිස්තුවක් යුද්ධ හමුදාව වෙත ලබා දුන් බව ත්, එම ලොරි රථවලට අමතරව නුවරඑළිය ප්‍රදේශයේ එළවළු වගා කරන ගොවීන්ගේ අස්වැන්න නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත දිනපතා රැගෙන එන ලොරි රථවලට මෙසේ යුද්ධ හමුදා කඳවුරෙන් සතියකට එක් දිනක් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ඔහු පැවසීය.

නුවරඑළිය ආර්ථික් මධ්‍යස්ථානයේ එළවළු කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට සහ නුවරඑළිය එළවළු වගා කරන ගොවීන්ගේ අස්වැන්න නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට ඩීසල් නොමැති වීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ නුවරඑළිය 3 වන ශ්‍රී ලංකා සිංහ රේජිමේන්තුවේ අණ දෙන නිලධාරී මේජර් ප්‍රසන්න සංජිව බෝයගොඩ මහතා සමග ඊයේ (ජූලි 1) දින පැවැත් වූ සාකච්චාවක් අනුව නුවරඑළියේ එළවළු ප්‍රවාහනය සදහා සතියකට එක් දිනක් ඩීසල් ඉන්ධන ලීටර් 3,000 ක් යුද්ධ හමුදාවෙන් නිකුත් කිරීමට පියවර ගත් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

  • රංජිත් රාජපක්ෂ – හැටන්